Skip to content

මරණාසන්න මොහොතේ ලබන අද්දැකීම් මතු භවයක් හෝ වෙන ආත්මයක් තියෙනවා කියන එකට සාක්ෂියක්ද?

මරණාසන්න මොහොතේ ලබන අද්දැකීම් මතු භවයක් හෝ වෙන ආත්මයක් තියෙනවා කියන එකට සාක්ෂියක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 මරණාසන්නව ඉද්දී තමන් ශරීරයෙන් වෙන් වෙලා ගියා කියලා සමහර අය කියනවා. ඒ වගේම අමුතුම ආලෝකයක් හෝ පුදුමාකාර ලස්සන තැනක් දැක්කා කියලත් කියනවා. ‘සමහර අය මරණාසන්න මොහොතේ ලබන ඒ වගේ අද්දැකීම් සලකන්නේ වෙනත් තැනක ජීවත් වෙන්න යන බවට තමන්ට ලැබෙන පෙරදැක්මක් හැටියටයි’ කියලා එක පොතක සඳහන් වෙනවා. (Recollections of Death) මරණාසන්න මොහොතේ ඒ වගේ අද්දැකීම් ලබපු අය ගැන බයිබලයේ සඳහන් වෙලා නැහැ. ඒත් බයිබලයේ තියෙන සත්‍ය තොරතුරු අධ්‍යයනය කරද්දී, මරණාසන්න අද්දැකීම් ලබන එක මතු භවයක් තියෙනවා කියන එකට සාක්ෂියක් නෙමෙයි කියලා පැහැදිලි වෙනවා.

 මිය ගිය අයට මුකුත්ම දැනෙන්නේ නැහැ.

බයිබලයේ පැහැදිලිවම කියන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියලයි. (දේශනාකාරයා 9:5) මැරුණු කෙනෙක්ට කල්පනාවත් නැහැ හිතන්නත් බැහැ. ඒ නිසා මැරුණාට පස්සේ කවුරුත් නොපෙනෙන ලෝකයකට යන්නෙවත් වෙන භවයක් ලබන්නෙවත් නැහැ. මරණයෙන් පස්සේ ආත්මය ශරීරයෙන් පිට වෙලා ගිහින් ජීවත් වෙනවා කියන ඉගැන්වීම බයිබලයට එකඟ නැහැ. (ගීතාවලිය 146:4) එහෙමනම් මරණාසන්න මොහොතේ අද්දැකීම් ලැබුව අය දැක්කා කියලා කියන දේවලින් අදහස් වෙන්නේ වෙනත් භවයක ඉපදෙනවා කියන එක හෝ ස්වර්ගයට නැත්නම් අපායට යනවා කියන එක නෙමෙයි.

 මරණයෙන් නැවත නැඟිට්ට ලාසරුස් කිව්ව දේ.

ලාසරුස් මිය ගිහින් දවස් හතරකට පස්සේ යේසුස් එයාව නැවත නැඟිටෙව්වා කියලා බයිබලයේ වාර්තා වෙනවා. (යොහන් 11:38-44) මැරුණාට පස්සේ ලාසරුස් කිසි දුකක් නැති ලෝකයකට ගියා නම් යේසුස් එයාට ආපහු ජීවිතය දීලා මේ ලෝකයේ ජීවත් වෙන්න සලස්වපු එක ලොකු අසාධාරණයක්. ලාසරුස් මැරුණාට පස්සේ වෙනත් ලෝකයකට ගියා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන කියනවා. ඒත් බයිබලයේ ඒ ගැන සඳහන් වෙලා නැත්තේ එයා ඒ ගැන කිසිම දෙයක් නොකිව්ව නිසයි. ලාසරුස් මිය ගිහින් ඉද්දී යේසුස් කිව්වේ ලාසරුස් නිදාගෙන ඉන්නවා කියලයි. යේසුස් ඒකෙන් අදහස් කළේ තද නින්දක ඉන්න කෙනෙක්ට මුකුත් දැනෙන්නේ නැහැ වගේ මිය ගිහින් හිටපු ලාසරුස්ටත් කිසිම දෙයක් දැනුණේ නැහැ කියලයි.—යොහන් 11:11-14.