Skip to content

පාස්කු ඉරිදා පවත්වන චාරිත්‍ර බයිබලයට එකඟද?

පාස්කු ඉරිදා පවත්වන චාරිත්‍ර බයිබලයට එකඟද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 පාස්කු ඉරිදා පවත්වන එනම් ඊස්ටර් උත්සවයේදී පවත්වන චාරිත්‍ර බයිබලයට එකඟ නැහැ. ඒ චාරිත්‍රවල සුලමුල ගැන හොයලා බැලුවම පැහැදිලි වෙන්නේ සශ්‍රීකත්වය වෙනුවෙන් අතීතයේ පවත්වපු සමහර චාරිත්‍ර මෙම උත්සවයට ඈඳාගෙන තිබෙන බවයි. ඒ ගැන සමහර පොත්වල සඳහන් වෙලා තියෙන තොරතුරු සලකා බලන්න.

  1.   නම: “ඊස්ටර් යන ඉංග්‍රීසි වචනය සෑදුණේ කෙසේද කියා නිශ්චිතවම පැවසිය නොහැකියි. වසන්ත සමයේ දේවතාවියගේ නම එනම් ඊස්ට්‍ර යන නම, ඇන්ග්ලෝ සැක්සන් පූජකයෙක් වන අතිගරු බීඩ් 8වෙනි සියවසේදී මෙම උත්සවයට ආදේශ කළා.” (Encyclopædia Britannica) වෙනත් පොත්වල සඳහන් වෙන්නේ ෆිනීෂියානුවන් සශ්‍රීකත්වයේ දේවතාවිය හැටියට සැලකුව අස්ටර්ටේගේ නම හෝ බැබිලෝනිවරුන් ඇදහූ ඒ හා සමාන දෙවියෙක් වුණු ඉෂ්ටාර්ගේ නම එම උත්සවයට ලැබුණු බවයි.

  2.   හාවෝ: “අතීතයේ යුරෝපයේ හා මැද පෙරදිග රටවල සිටි බොරු දෙවිවරුන්ට වන්දනාමාන කළ අය වසන්ත සමයේ පැවැත්වූ උත්සවවල සශ්‍රීකත්වය නියෝජනය කිරීමට හාවන්ව යොදාගත්තා.”—Encyclopædia Britannica.

  3.   බිත්තර: සඟවලා තියෙන බිත්තර හොයන එක ඊස්ටර් උත්සවේ එක චාරිත්‍රයක්. “එය ළමයි වෙනුවෙන් තිබෙන විනෝද ක්‍රීඩාවක් ලෙස පෙනුණත් එය සශ්‍රීකත්වය පතා පැවැත්වූ උත්සවයක එක් අංගයක්.” (Funk & Wagnalls Standard Dictionary of Folklore, Mythology and Legend) සමහර රටවල ඉන්න අය විශ්වාස කළා පාට කළ ඊස්ටර් බිත්තර නිසා “සතුට, සෞභාග්‍යය, නිරෝගිකම හා ආරක්ෂාව ආශ්චර්යවත් ලෙස ලැබෙනවා” කියලා.—Traditional Festivals.

  4.   අලුත් ඇඳුම්: “වසන්තයට අධිපති දේවතාවිය ලෙස ස්කැන්ඩිනේවියානුවන් සැලකූ ඊස්ට්‍ර දේවතාවිය ඉදිරියට පැරණි ඇඳුම් ඇඳගෙන යෑම අගෞරවනීය දෙයක් කියා සමහරු සිතුවා. ඒ වගේම එය අසුබ දෙයක් කියාත් සිතුවා.”—The Giant Book of Superstitions.

  5.   හිරු උදාවත් සමඟම පවත්වන දේවමෙහෙයන්: “වසන්ත සමයේ ආරම්භයේදී පායන හිරුව පිළිගැනීමටත් ගස් කොළන්වලට නව ජීවයක් ලබා දීමට හිරු සතු බලය පිළිගැනීමටත්” අතීතයේ හිරුට නමස්කාර කළ අය උත්සව පැවැත්තුවා. ඒ උත්සවවල තිබූ චාරිත්‍ර හා අද හිරු උදාවත් සමඟම පවත්වන දේවමෙහෙයන් අතර සමානකම් තියෙනවා.—Celebrations—The Complete Book of American Holidays.

 ඊස්ටර් උත්සවයේ ආරම්භය ගැන මෙහෙම සඳහන් වෙනවා. “බොරු දෙවිවරුන් ඇදහූ අය පැවැත්වූ චාරිත්‍රවලට ක්‍රිස්තියානි මුහුණුවරක් දී පල්ලිවල පූජකයන් හතරවෙනි සියවසේ සිට එය ඊස්ටර් උත්සවය ලෙස සමරන්න පටන්ගත්තා.”—The American Book of Days.

 දෙවියන් අකමැති චාරිත්‍ර වාරිත්‍ර පිළිපදිමින් දෙවියන්ට නමස්කාර කරන එක බයිබලයේ හෙළාදැකලා තියෙනවා. (මාක් 7:6-8) දෙවියන් පවසන්නේ ‘ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න. තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න’ කියලයි. (2 කොරින්ති 6:17) ඊස්ටර් උත්සවයේ චාරිත්‍ර බොරු දෙවිවරුන් අදහපු අය පැවැත්තුව චාරිත්‍රවලට සම්බන්ධ නිසා යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න කැමති අය එම උත්සවය සමරන්නේ නැහැ.