Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 2වෙනි කොටස: ස්ක්‍රීන් එකෙන්ද නැත්නම් පොතෙන්ද?

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 2වෙනි කොටස: ස්ක්‍රීන් එකෙන්ද නැත්නම් පොතෙන්ද?

 ඔයාගේ දරුවා වැඩියෙන්ම කියවන්න ආස කොහොමද? ස්ක්‍රීන් එකෙන්ද නැත්නම් පොතෙන්ද?

 හුඟක් ළමයි කැමති ටැබ් එකෙන් නැත්නම් ෆෝන් එකෙන් කියවන්න. මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන ජීන්. එම් ට්වෙන්ජ් ඒ ගැන මෙහෙම කියනවා. “දැන් ඉන්න මේ පරම්පරාව ඇඟිලි තුඩුවලින් තත්පරෙන් දෙකෙන් හැම දෙයක්ම කරන්නයි පුරුදු වෙලා තියෙන්නේ. එයාලට පොත් පත් හරියන්නේ නෑ.” a

 ඇත්ත, ඩිවයිස් එකකින් කියවද්දී ගොඩක් ප්‍රයෝජන තියෙනවා. අවුරුදු 20ක් වයස ජෝන් ඒ ගැන කියන දේ බලන්න. “මං ඉස්කෝලේ යන කාලේ පොත් පත් පාවිච්චි කළේ නෑ. හැම දෙයක්ම කියෙව්වේ ස්ක්‍රීන් එකෙන්. ඒකෙන් කියවද්දී ඕනම තොරතුරක් ටක් ගාලා හොයාගන්න පුළුවන්. පොතකින් කියවනවාට වඩා ඒක ගොඩක් ලේසියි.”

 අද තාක්ෂණය දියුණු නිසා ඩිවයිස් එකකින් කියවද්දී ගොඩක් ප්‍රයෝජන තියෙනවා. මොකද එතකොට කියවන දේ ගැන තියෙන අමතර තොරතුරුත් හරිම ඉක්මනටම හොයාගන්න පුළුවන්. උදාහරණෙකට එක ක්ලික් එකකින් වචනෙක තේරුම දැනගන්න, ඕඩියෝ එකක් අහන්න එහෙම නැත්නම් ඒ තොරතුරුවලට අදාළ තවත් වීඩියෝ, ලිපි බලන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ පොත් කියවන එකේ ප්‍රයෝජනයක් නැහැ කියලාද?

 නැහැ. මොකද දෙයක් ගැන ටිකක් ගැඹුරට අධ්‍යයනය කරන අය පොත් පත් තමයි වැඩිපුර පාවිච්චි කරන්න කැමති. ඒ ඇයි?

  •   අවධානය දෙන්න ලේසියි. යෞවනයෙක් වන නේතන් කියන දේ බලන්න. “මං ස්ක්‍රීන් එකෙන් කියවද්දී නෝටිෆිකේෂන් එනවා, ඇඩ් එනවා ඉවරයක් නෑ. එතකොට නං කියවන කිසිම දෙයක් ඔළුවට යන්නේ නෑ.”

     අවුරුදු 20ක් වයස කැරන්ටත් වෙන්නේ ඒ වගේම දෙයක්. එයා මෙහෙම කියනවා. “පොඩ්ඩක් මොනවා හරි කියවන්න කියලා ඩිවයිස් එක අතට ගත්තාම කියවන එක කෙසේ වෙතත් වෙන වෙන ඇප්වලට යන්න, ගේම් එකක් ගහන්න තමයි හිත යන්නේ.”

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔබට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.”—කොලොස්සි 4:5.

     හිතන්න දෙයක්: ඔයාගේ දරුවාත් මොනවා හරි දෙයක් කියවන්න ෆෝන් එක, ටැබ් එක අතට ගත්තාම කරන්නේ වෙන වෙන දේවල්ද? එහෙමනම් එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

     යෝජනාවක්: ඉස්කෝලේ වැඩ කරන්න කියලා ෆෝන් එක නැත්නම් ටැබ් එක අතට ගත්තාට පස්සේ වෙන වෙන දේවල්වලට අවධානය දුන්නොත් ඉස්කෝලේ වැඩ ටික ඉවර කරන්න ගොඩක් වෙලා යයි කියලා දරුවාට මතක් කරන්න. එතකොට එයා ආස කිසිම දෙයක් කරන්න එයාට වෙලාව නැති වෙයි කියලා දරුවාට තේරුම් කරලා දෙන්න.

  •   ලේසියෙන් තේරුම්ගන්න පුළුවන්. “ගොඩක් පරීක්ෂණවලින් පැහැදිලි වෙලා තියෙන දෙයක් තමයි ස්ක්‍රීන් එකෙන් කියවනවාට වඩා පොතකින් කියවද්දී කියවන දේ තේරුම්ගැනීමේ හැකියාව වැඩියි කියලා.”—Be the Parent, Please.

     ඒකට එක හේතුවක් තමයි සාමාන්‍යයෙන් ස්ක්‍රීන්වලින් කියවන අය බලන්නේ හැම දෙයක්ම නිකන් උඩින් පල්ලෙන් කියවලා දාන්න. ලේඛකයෙක් වන නිකලස් කාර් කියන දේ බලන්න. “අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ ලිපියක් කියවද්දී උඩ ඉඳන් පල්ලෙහාට ලිපිය බලාගෙන යන වේගෙටම තොරතුරු මනසට ගන්නයි උත්සාහ කරන්නේ.” b

     සමහර වෙලාවට දෙයක් ඉක්මනට කියවන්නත් ඉගෙනගන්න වෙනවා. හැබැයි නිකලස් කියන විදිහට ප්‍රශ්නේ ඇවිල්ලා ඒක හැම තිස්සේම කරන එක. මොකද එහෙම වුණොත් ඔයාගේ දරුවාත් දෙයක් ඔළුවට ගන්නේ නැතුව හැම තිස්සේම උඩින් පල්ලෙන් කියවන්න පුරුදු වෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න.”—හිතෝපදේශ 4:7.

     හිතන්න දෙයක්: ස්ක්‍රීන් එකකින් කියෙව්වත් පොතකින් කියෙව්වත් කියවන දේ හොඳට මනසට අරන් ඒ ගැන තවත් ගැඹුරින් අධ්‍යයනය කරන්න දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

     යෝජනාවක්: සාධාරණ වෙන්න. අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එකෙන් කියවන්න ඕනෙ, එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම පොතෙන් කියවන්න ඕනෙ කියලා හිතන්න එපා. මොකද ඒ දෙකෙන්ම ප්‍රයෝජන තියෙනවා. අපි කලින් බලපු විදිහට ඉලෙක්ට්‍රෝනික් ඩිවයිස් හරහා කියවද්දී ඒ කියවන තොරතුරු හොඳින් තේරුම්ගන්න අවශ්‍ය තවත් තොරතුරු ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒ දෙවිදිහෙන්ම තියෙන වාසි, අවාසි ගැන දරුවා එක්ක කතා කරන්න. ඒ වගේම හැම දරුවෙක්ම එක වගේ නැහැ කියලත් මතක තියාගන්න.

  •   ලේසියෙන් මතක හිටිනවා. ලේඛකයෙක් වන ෆෙරිස් ජාබර් මෙහෙම කියනවා. “පොත් පත්වලින් කියවනවාට වඩා ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් එකකින් කියවද්දී අපේ මනසට ඒක ලොකු වෙහෙසක්. ඒ නිසා කියවන දේවල් මතක තියාගන්න ටිකක් අමාරුයි.”—Scientific American.

     සමහර වෙලාවට අපි පොතකින් දෙයක් කියවද්දී ඒ දේ තිබුණේ මොන පිටුවේද, කොතනද කියලා අපේ මනසේ “කෙටෙනවා.” ඒ නිසා ඒ කරුණ අපිට හොඳට මතක හිටිනවා. ඒක හරියට මනසින් ඒ කරුණ තිබ්බ තැනට “බුක්මාක් එකක්” දැම්මා වගේ. ආයෙත් වෙලාවක ඒක අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

     ඊට අමතරව පර්යේෂකයන් හොයාගෙන තියෙනවා පොතකින් කියවද්දී කියවන කරුණු හොඳට තේරුම්ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඕන වෙලාවක ලේසියෙන්ම ඒ තොරතුරු මතක් කරගන්න පුළුවන්.

     බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.”—හිතෝපදේශ 3:21.

     හිතන්න දෙයක්: ඉගෙනගන්න දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න ඔයාගේ දුවට, පුතාට අමාරුද? එහෙනම් එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඉගෙනීමේ වැඩවලට එයාට පොත් පත් පාවිච්චි කරන්න දුන්නොත් ප්‍රශ්නේ විසඳෙයිද?

     යෝජනාවක්: සමහරු කියනවා පොතකින් කියවනවාට වඩා ස්ක්‍රීන් එකෙන් කියවද්දී හොඳට තේරෙනවා කියලා. ඒත් එහෙම කිව්වාට සමහර වෙලාවට එහෙම නොවෙන්න පුළුවන්. ඒ නිසා දරුවා ඉල්ලන දේ නෙවෙයි දරුවාට අවශ්‍ය දේ මොකක්ද කියලා හොයලා බලලා ඒක දෙන්න.

a iGen කියන පොතෙන්.

b The Shallows කියන පොතෙන්.