Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවන්ව ඇදගන්න සෝෂල් මීඩියා - 2වෙනි කොටස: පරෙස්සමින් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා දෙන්න

දරුවන්ව ඇදගන්න සෝෂල් මීඩියා - 2වෙනි කොටස: පරෙස්සමින් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා දෙන්න

 පරෙස්සම් වුණේ නැත්නම් සෝෂල් මීඩියා නිසා දරුවන්ට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා සමහර දෙමාපියන් දරුවන්ට ඒවා පාවිච්චි කරන්න ඉඩ නොදී ඉන්න තීරණය කරලා තියෙනවා. හැබැයි දැනටමත් ඔයා දරුවන්ට ඒවා පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙන කෙනෙක් නම් මේ ගැන හිතන්න. සෝෂල් මීඩියා නිසා වෙන්න පුළුවන් අනතුරු මඟහරින්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඔන්ලයින් ලෝකේ විනයගරුක පුරවැසියෙක් වෙන විදිහ එයාට කියලා දෙන්නේ කොහොමද?

මේ ලිපියෙන්

 මුල් තැන දෙන්න ඕන දේවල්

 ඔයා දැනගන්න ඕන දේ: සෝෂල් මීඩියා ඇබ්බැහි වෙන සුළුයි. ඒ නිසා ඒකට කොච්චර වෙලාවක් දෙනවාද කියලා හිතලා බලන්න දරුවාට ඔයාගේ උදව් ඕන වෙයි.

 බයිබල් ප්‍රතිපත්තිය: “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.”—ෆිලිප්පි 1:10.

 මේ ගැන හිතන්න: සෝෂල් මීඩියා නිසා දරුවාගේ නින්ද, ඉස්කෝලේ වැඩ, පවුලේ බැඳිම් දෙවෙනි තැනට වැටිලාද? පර්යේෂකයන් කියනවා සාමාන්‍යයෙන් යෞවන වයසේ ඉන්න කෙනෙක් අඩුම තරමේ පැය නවයක්වත් නිදාගන්න ඕන කියලා. හැබැයි සෝෂල් මීඩියාවල සැරිසරසර ඉන්න අය හුඟක් වෙලාවට නිදාගන්නේ පැය හතකටත් වඩා අඩුවෙන්.

 ඔයාට කරන්න පුළුවන් දේ: දරුවා මුල් තැන දෙන්න ඕන වැදගත්ම දේවල් මොනවාද කියලා එයාත් එක්ක කතා කරන්න. සෝෂල් මීඩියාවලට ඕනාවට වඩා වෙලාව දෙන්නේ නැතුව ඉන්න එක කොච්චර වැදගත්ද කියලා එයාට පෙන්නලා දෙන්න. සමහර වෙලාවට ඔයාට ඒ වෙනුවෙන් නීති දාන්නත් සිද්ධ වෙයි. උදාහරණෙකට ඇඳට යන වෙලාවට ෆෝන්, ටැබ් අරන් යන්න එපා කියලා පුංචි නීතියක් දාන්න. ඔයා මේ හැම දේම කරන්නේ තමන්ව පාලනය කරගන්න දරුවාව පුහුණු කරන්න. ඒක දැන් විතරක් නෙවෙයි එයා ලොකු වුණාමත් එයාට ප්‍රයෝජනවත් වෙයි.—1 කොරින්ති 9:25.

 මනසට බලපාන විදිහ

 ඔයා දැනගන්න ඕන දේ: එඩිට් කරලා දාන සෙල්ෆි, ලස්සන ලස්සන තැන්වලට ගිහිල්ලා ජොලි කරලා දාන ෆොටෝ දැක්කාම සමහරවිට ඔයාගේ දරුවාට ලොකු දුකක්, තනිකමක් දැනෙන්න පුළුවන්.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘ඊර්ෂ්‍යාව ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.’—1 පේතෘස් 2:1.

 මේ ගැන හිතන්න: සෝෂල් මීඩියා නිසා පෙනුම ගැන, හැඩරුව ගැන ඕනාවට වඩා හිතලා අනිත් අයත් එක්ක තමන්ව සන්සන්දනය කරන්න මගේ දරුවා පෙලඹෙනවාද? ‘අනිත් අය නං ජොලියේ ඉන්නවා, මං තමා ඔහේ පැත්තකට වෙලා ඉන්නේ’ කියලා එයා හිතනවාද?

 ඔයාට කරන්න පුළුවන් දේ: තමන්ව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන එකේ තියෙන භයානකකම ගැන දරුවාත් එක්ක කතා කරන්න. සාමාන්‍යයෙන් හැඩරුව ගැන, යාළුකම් ගැන වැඩියෙන් වධ වෙන්නේ පුතාලට වඩා දුවලා. ඒ නිසා එයාලා ලේසියෙන්ම ඒ උගුලට අහු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ටික කාලෙකට සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැතුව ඉඳලා බලන්න කියලා දරුවාට කියන්න. බලන්න ඒ ගැන යෞවනයෙක් වන ජේකබ් කියන දේ. “මං ටික කාලෙකට මගේ සෝෂල් මීඩියා ඇප් ටික ඩිලීට් කළා. ඒක මට උදව් වුණා වැදගත් දේවල්වලට මුල් තැන දෙන්න. ඒ වගේම මං ගැන, අනිත් අය ගැන මං හිතපු විදිහ වෙනස් කරගන්න.”

 ඔන්ලයින් හැසිරීම

 ඔයා දැනගන්න ඕන දේ: සාමාන්‍ය ජීවිතේදීත් වරදවා වටහාගැනීම්, ප්‍රශ්න වගේ දේවල් ඇති වෙනවා. ඔන්ලයින් ජීවිතේදීත් ඒ වගේ තමයි.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න. ඒ වෙනුවට එකිනෙකාට කරුණාව පෙන්වන්න.’—එෆීස 4:31, 32.

 මේ ගැන හිතන්න: ඔන්ලයින් ලෝකේදී මගේ දරුවා රණ්ඩුවලට පැටලිලා තියෙනවාද? ඒ වගේම එයා ඕපාදූප පතුරුවන්න, කට කැඩිච්ච කතා කියන්න පුරුදු වෙලා තියෙනවාද?

 ඔයාට කරන්න පුළුවන් දේ: ඔන්ලයින් මැනර්ස් ගැන දරුවාට තේරුම් කරලා දෙන්න. ඒ ගැන එක පොතක මෙහෙම කියනවා. “සාමාන්‍ය ජීවිතේදී වගේම ඔන්ලයින් ජීවිතේදීත් අනිත් අයගේ හිත රිදෙන විදිහට දේවල් කරන එක හොඳ නැහැ. ඒක දරුවන්ට පැහැදිලිව කියලා දෙන එක දෙමාපියන්ගේ වගකීමක්.”—Digital Kids.

 සෝෂල් මීඩියා පාවිච්චි කළේ නැහැ කියලා ඔයාගේ දරුවා මැරෙන්නේ නැහැ. හැම දෙමාපියෙක්ම එයාලගේ දරුවන්ට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න අවසර දෙන්නෙත් නැහැ. හැබැයි ඔයා ඔයාගේ දරුවාට ඒවා පාවිච්චි කරන්න අවසර දෙනවා නම් ඒ වෙනුවෙන් දෙන වෙලාව, ආශ්‍රය කරන අය, බලන දේවල් කිරලා මැනලා තීරණය කරන්න දරුවාට පුළුවන්ද කියලා හොඳට හිතලා බලන්න.