Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවන්ව ඇදගන්න සෝෂල් මීඩියා - 1වෙනි කොටස: මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?

දරුවන්ව ඇදගන්න සෝෂල් මීඩියා - 1වෙනි කොටස: මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?

 එක සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා යෞවනයන්ගෙන් 97%ක්ම සෝෂල් මීඩියා පාවිච්චි කරනවා කියලා. ඔයාගේ දරුවාත් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ආසයිද? එහෙමනම් ඒකට අවසර දෙන්න කලින් ඔයා හිතලා බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා.

මේ ලිපියෙන්

 පාවිච්චි කරන කාලය

 “සෝෂල් මීඩියා හදලාම තියෙන්නේ ඔයාගේ අවධානය හොරාගෙන ඔයාව දිගටම ඔන්ලයින් තියාගන්න. ඔයා දන්නෙම නැතුව ඒකට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඊටපස්සේ ඉතින් සැරෙන් සැරේ මැසේජ් ආවාද, නෝටිෆිකේෂන් ආවාද කියලා බලබල ඉන්නවා.”—HelpGuide කියන වෙබ් අඩවිය.

 “පෝස්ට් බලන්න ෆෝන් එක අතට ගත්තාම තත්පර මිනිත්තු වෙනවා, මිනිත්තු පැය වෙනවා දන්නෙම නෑ. ෆෝන් එක බිම තියන්න හිතෙන්නෙත් නෑ. අන්තිමේදී කරපු දේකුත් නෑ. කාලේ ඔහේ නාස්ති වෙලා.”—ලින්, 20.

 මේ ගැන හිතන්න: සෝෂල් මීඩියා පාවිච්චි කරන්න වෙලාවක් දැම්මොත් තමන්ව පාලනය කරගෙන කියපු වෙලාවට ඒක නතර කරන්න මගේ දරුවාට පුළුවන් වෙයිද? ඒ වගේම කොච්චර වෙලාවක්ද ඒකට දෙන්නේ කියලා සීමාවක් දාගන්න එයාටම පුළුවන් වෙයිද?

 බයිබල් ප්‍රතිපත්තිය: ‘ඒ නිසා ඔබ ඉතා සෝදිසියෙන් සිට ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.’—එෆීස 5:15, 16.

කිසිම මඟ පෙන්වීමක් නැතුව සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන එක හරියට කිසිම පුහුණුවක් දෙන්නේ නැතුව දරුවාව අශ්වයෙක්ගේ පිටේ වාඩි කරනවා වගේ දෙයක්

 ඇති කරගන්න මිතුදම්

 “සෝෂල් මීඩියා” හදලා තියෙන්නේ නම් යාළුවෝ එක්ක, දන්න කියන අයත් එක්ක ටච් එකේ ඉන්න කියලයි කියන්නේ. හැබැයි සෝෂල් මීඩියා යාළුකම්වලින් වැඩි හරියක්ම ඇත්තම යාළුකම් නෙවෙයි. ඒවා තියෙන්නේ නිකම් මතුපිටින් විතරයි.

 “හුඟක් ලයික්ස් ලැබෙනවා නම්, ෆලෝවර්ස්ලා හුඟදෙනෙක් ඉන්නවා නම් යෞවනයන්ට ඊට වඩා දෙයක් නෑ. ඒ අයව අඳුරන්නේ නැති වුණත් ඒගොල්ලන්ට කමක් නෑ. ලයික්ස් ගාණ, ෆලෝවර්ස්ලා ගාණ වැඩි වෙනවා කියන්නේ එයාලා ගැන සැලකිලිමත් යාළුවෝ ගාණත් වැඩි වෙනවා කියලයි සමහරු හිතන්නේ.”—පැට්‍රීෂියා, 17.

 මේ ගැන හිතන්න: නියම මිතුදම් ලයික්ස්වලින්, ෆලෝවර්ස්ලාගෙන් මනින්න බෑ. ඒක දරුවා තේරුම් අරන් ඉන්නවාද? ඔන්ලයින් යාළුකම් විතරක් නෙවෙයි ඕෆ්ලයින් යාළුකම් ඇති කරගන්නත් එයාට පුළුවන්ද?

 බයිබල් ප්‍රතිපත්තිය: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

 මනසට බලපාන විදිහ

 සෝෂල් මීඩියාවල එල්ලිලා ඉන්න අයට ලොකු පීඩනයක්, කනස්සල්ලක්, තනිකමක් දැනෙනවා කියලා පර්යේෂකයන් හොයාගෙන තියෙනවා.

 “ඔයාගේ යාළුවෝ ඔයා නැතුව තව යාළුවොත් එක්ක ජොලි කරලා ෆොටෝස් දාද්දී ඒකෙන් කිසිම සතුටක් නම් දැනෙන්නේ නෑ.”—සෙරීනා, 19.

 මේ ගැන හිතන්න: අනිත් අය දාන පෝස්ට් මගේ දරුවාට කොහොම බලපායිද? එයා තමන් ගැන විතරක් හිතන, තරඟකාරී කෙනෙක් වෙයිද? ඒවා දැකලා එයාට ලොකු දුකක්, කලකිරීමක් දැනෙයිද?

 බයිබල් ප්‍රතිපත්තිය: “අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.”—ගලාති 5:26.

 ඔන්ලයින් හැසිරීම

 ඔන්ලයින් හිරිහැරවලට, නරක දේවල් හුවමාරු කරගන්න එකට, කාමුක දර්ශන බලන එක වගේ නරක දේවල්වලට සෝෂල් මීඩියා කියන්නේ හොඳ තෝතැන්නක්. ඔයාගේ දරුවා ඒ දේවල් කළේ නැතත් අනිත් අය කරන දේවල් දරුවාට නරක විදිහට බලපාන්න පුළුවන්.

 “නිකං බැලුවාම පේන්නේ නම් සෝෂල් මීඩියාවල කිසිම වැරැද්දක් නෑ වගේ. හැබැයි ඒක ඇතුළට ගියාම තමයි තේරෙන්නේ ඒකේ වැඩිපුරම තියෙන්නේ ජරා වචන, ජරා සින්දු වගේ දේවල් කියලා.”—ලින්ඩා, 23.

 මේ ගැන හිතන්න: ඔන්ලයින් ලෝකේ විනයගරුක පුරවැසියෙක් විදිහට හැසිරෙන්න මගේ දරුවාට පුළුවන් වෙයිද? නරක දේවල් දැක්ක හැටියේ ඇස් අහකට ගන්න තරම් හයියක් මගේ දරුවාට තියෙනවාද?

 බයිබල් ප්‍රතිපත්තිය: ‘වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි. එලෙසම කිසිම ලැජ්ජාවක් බියක් නොමැතිව හැසිරීම, මෝඩ කතා හෝ අසභ්‍ය විහිළු සුදුසු නැත.’—එෆීස 5:3, 4.

 නැතුවම බැරිද?

 සතුටින්, සැප පහසු ජීවිතයක් ගෙවන්න සෝෂල් මීඩියා ඕනෙම නැහැ. ඒවා පාවිච්චි කරන්නේ නැති හුඟක් යෞවනයනුත් සතුටින් ඉන්නවා. ඒ අයගෙන් සමහරු කලින් ඒවා පාවිච්චි කළා. හැබැයි දැන් ඒවා පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එයාලා තීරණය කරලා තියෙනවා.

 “සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ගිහින් අක්කා සෑහෙන්න ප්‍රශ්න ගොඩක පැටලුණා. ඒක දැකලා මාත් ඒවායින් අයින් වෙන්න තීරණය කළා. එදායින් පස්සේ මට වෙනදාට වඩා සතුටක් දැනෙනවා. ඇත්තම කිව්වොත් දැන් තමයි මං ජීවිතේ හරියටම විඳින්නේ.”—නේතන්, 17.

 මේක මතක තියාගන්න: ඔයාගේ දරුවාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්න කලින් මේ ගැන හිතන්න. ඒක පාවිච්චි කරන්න වෙලාවක් දැම්මොත් දරුවා ඒකට කීකරු වෙයිද? තෝරලා බේරලා හොඳ මිතුදම් ඇති කරගන්න එයාට පුළුවන්ද? නරක දෙයක් ඇහෙද්දී, දකිද්දී එයා ඉක්මනටම ඒවායින් අයින් වෙයිද?

 බයිබල් ප්‍රතිපත්තිය: “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.