Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවාද?

මැරුණ අයට බලාපොරොත්තුවක්! - විශ්වාස කරන්න පුළුවන් කොහොමද?

මැරුණ අයට බලාපොරොත්තුවක්! - විශ්වාස කරන්න පුළුවන් කොහොමද?

මැරුණ අය ආපහු ජීවත් වෙනවා කියන එක මෝඩ අදහසක්ද? නියෝජිත පාවුල් දෙවියන්ගේ බලයෙන් මෙහෙම ලිව්වා. “අප ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තු තබාගෙන සිටියත් අපට තිබෙන බලාපොරොත්තුව මේ ජීවිතය ගැන පමණක් නම් අන් සියලුදෙනාටම වඩා අනුකම්පාව ලැබිය යුත්තේ අපටය. නමුත් ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය. මිය ගිය අය අතරින් මුලින්ම නැඟිටුවනු ලැබුවේ ඔහුවය.” (1 කොරින්ති 15:19, 20) පාවුල්ට නැවත නැඟිටීම ගැන ස්ථිර විශ්වාසයක් තිබුණා. යේසුස්ගේ නැවත නැඟිටීමෙන් ඔහුට ඒක තහවුරු වුණා. * (ක්‍රියා 17:31) සදහටම ජීවත් වෙන්න “මුලින්ම නැඟිටුවනු” ලැබුව කෙනා යේසුස් නම්, තවත් අය ඉන්න ඕනේ.

“ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත” කියලා යෝබ් දෙවියන්ට කිව්වා.—යෝබ් 14:14, 15

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිර කරගන්න තවත් හේතුවක් තියෙනවා. “කිසි බොරුවක් නොපවසන” යෙහෝවා දෙවියන් සත්‍යය පවසන කෙනෙක්. (තීතස් 1:2) දෙවියන් බොරු කියලත් නැහැ, කියන්නෙත් නැහැ. එහෙමනම් ඔහු නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් දීලා, නැවත නැඟිටුවන්න පුළුවන් කියලා පෙන්නලා, ඒ දේ නොකර ඉඳියිද?

යෙහෝවා දෙවියන් නැවත නැඟිටුවන්න සැලැස්මක් යෙදුවේ ඇයි? ඔහු ප්‍රේමණීය කෙනෙක් නිසයි. “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද” කියලා යෝබ් අහලා “ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත” කියලා කිව්වා. (යෝබ් 14:14, 15) ස්වර්ගික පියාණන් ඔහුව නැවත නැඟිටුවන්න ආශාවෙන් ඉන්නවා කියන විශ්වාසය ඔහුට තිබුණා. දෙවියන් අද වෙනස් වෙලාද? “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි” කියලා ඔහු කියනවා. (මලාකි 3:6) මැරුණ අය ප්‍රීතියෙන් නිරෝගීව ආයෙත් ජීවත් වෙනවා දකින්න දෙවියන් තාමත් කැමතියි. ඔහු මිය ගිය තමන්ගේ දරුවාව දකින්න ආශාවෙන් ඉන්න ආදරණීය දෙමව්පියෙක් වගෙයි. ඒ ආශාව ඉටු කරගන්න දෙවියන්ට බලය තියෙනවා.—ගීතාවලිය 135:6.

මරණයට විසඳුමක් ගේන්න පුළුවන් දෙවියන්ට විතරයි

වියෝ දුකෙන් පෙළෙන අයගේ දුක සතුටට පෙරළන්න යෙහෝවා දෙවියන් යේසුස්ට බලය දෙනවා. නැවත නැඟිටීම ගැන යේසුස්ට හැඟෙන්නේ කොහොමද? මිය ගිය ලාසරුස්ව නැවත නැඟිටුවන්න කලින් ඔහුගේ සහෝදරියන් සහ මිතුරන් වේදනාවෙන් ඉන්නවා දැක්ක ‘යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියා.’ (යොහන් 11:35) නායින් නුවර වැන්දඹුවගේ එකම පුතා මැරුණ වෙලාවෙත් ‘යේසුස්ට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇති වෙලා “අඬන්න එපා” කියලා’ ඇගේ පුතාව නැවත නැඟිටුවලා දුන්නා. (ලූක් 7:13) ඒකෙන් පේන්නේ මිනිසුන්ගේ දුක, මරණය ගැන යේසුස්ට තදින් දැනෙනවා කියලයි. ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ගේ දුක සතුටට පෙරළෙන ඒ දවස උදා වෙද්දී ඔහුට මොන තරම් සතුටක් දැනෙයිද!

ඔයාටත් වියෝ දුක දැනිලා තියෙනවාද? එහෙමනම් මරණයට විසඳුමක් නැහැ කියලා ඔයාට හිතිලා ඇති. හැබැයි විසඳුමක් තියෙනවා. ඒ තමයි දෙවියන් යේසුස් තුළින් ලබා දෙන නැවත නැඟිටීම. ප්‍රේමණීයයන්ව නැවත නැඟිටුවද්දී ඔයා ඒක ඇස් දෙකෙන්ම දැකගන්න එතන ඉන්නවාටයි ඔහු කැමති. ඒ අය එක්ක එකතු වෙලා සදහටම ජීවත් වෙන්න පා තබන විදිහ හිතින් මවාගන්න. එදාට කවුරුත් ඔබෙන් සමුගන්නේ නැහැ.

මුල් ලිපියේ සඳහන් කරපු ලයනල් මෙහෙම කිව්වා. “නැවත නැඟිටීම ගැන මුලින්ම අහද්දී මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. කිව්ව කෙනා බොරු කියනවා කියලයි හිතුවේ. ඒත් බයිබලයෙන්ම හොයලා බැලුවට පස්සේ ඒක ඇත්ත කියලා මං දැනගත්තා. දැන් මං ආසාවෙන් ඉන්නේ මගේ සීයාව දැකගන්න.”

තව විස්තර දැනගන්න ඔයා කැමතිද? නැවත නැඟිටීම විශ්වාස කරන්න තියෙන හේතු ඔයාගෙම බයිබලයෙන් පෙන්වන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් ඉන්නවා. *

^ 3 ඡේ. යේසුස් නැවත නැඟිටුණු බවට සාක්ෂි දැනගන්න 2012 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ 7වෙනි පිටුවේ 3-6 ඡේද බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 9 ඡේ. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.