Skip to content

පටුනට යන්න

ස්වාභාවික විපතකට මුහුණ දිය හැකි ආකාරය

ස්වාභාවික විපතකට මුහුණ දිය හැකි ආකාරය

වර්තමානයේ නිතර නිතර ස්වාභාවික විපත් ඇති වන නිසාත් ඉන් සිදු වන හානි එන්න එන්නම බරපතළ වන නිසාත් එවැනි තත්වයකට මුහුණ දීම සඳහා සූදානම්ව සිටින්න පුළුවන් කොහොමද? ඒ සඳහා කළ හැකි දේවල් කිහිපයක් දැන් අපි බලමු.

අනතුරුදායක ස්ථානවලින් ඉවත් වන්න.

“බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:3) එම උපදෙස පිළිපැදීම ඉතා ඥානවන්තයි. සමහරවිට බලධාරීන් විසින් ගිනි කන්දක් පුපුරා යෑමක්, ජලගැල්මක් හෝ කුණාටුවක් ගැන කලින්ම අනතුරු ඇඟවීමක් ලබා දී තිබෙනවා නම් කළ යුතු බුද්ධිමත්ම දේ වන්නේ සුරක්ෂිත ස්ථානයකට යෑමයි. මෙහිදී අප සතු බඩු භාණ්ඩවලට වඩා අපගේ ජීවිතය වටිනා බව මතක තබාගත යුතුයි.

දැඩි අවදානම් සහිත ස්ථානවල පදිංචි නොවීමද වැදගත් වෙනවා. එක් වාර්තාවක මෙසේ සඳහන් වුණා. “පොළොවේ දැඩි අවදානම් සහිත ප්‍රදේශ තිබෙන්නේ ඉතා සුළු වශයෙනුයි. එවැනි ස්ථානවල මහා පරිමාණයෙන් ස්වාභාවික විපත් සිදු විය හැකියි.” මුහුදු මට්ටමේ හෝ ඉන් පහත ඇති ප්‍රදේශ එසේත් නැත්නම් පොළොව මතුපිට විශාල පැළීම් ඇති ප්‍රදේශ ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි. හැකි නම් එවැනි ස්ථානවල පදිංචි නොවී අවදානම අඩු ස්ථානවල පදිංචි වෙන්න. එවිට ස්වාභාවික විපතක් සිදු වුණත් ඉන් ඇති වන හානිය බොහෝ සෙයින් අඩු විය හැකියි.

සූදානමින් සිටින්න.

ආරක්ෂාව සඳහා සියලුම ක්‍රියාමාර්ග ගත්තත් සමහරවිට අනපේක්ෂිත ලෙස අප යම් ව්‍යසනයකට ගොදුරු විය හැකියි. ඒ නිසා කල් ඇතුවම සූදානම් වී සිටීම ඉතා වැදගත්. හිතෝපදේශ 22:3හි සඳහන් උපදෙසට කල් ඇතුව සූදානම්ව සිටීමත් ඇතුළත් වෙනවා. ආපදා සම්බන්ධව කළ යුත්තේ කුමක්ද කියා සඳහන්ව ඇති පොතක මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරනවා. හදිසි අවස්ථාවකදී රැගෙන යෑම සඳහා වතුර බෝතල් කිහිපයක්, ප්‍රථමාධාර කට්ටලයක්, වියළි ආහාර සහ වැදගත් ලියකියවිලි වෙනමම ස්ථානයක තබන්න. ඒ වගේම මුහුණ දීමට සිදු වන්නේ කුමනාකාර ස්වාභාවික විපතකටද එවැනි අවස්ථාවේදී ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියා පවුලේ අය සමඟ සලකා බැලීමද වැදගත්.—1-2-3 of Disaster Education.

දෙවි සමඟ සමීප බැඳීමක් ඇති කරගන්න.

එය ඕනෑම තත්වයකදී උපකාරවත් වෙනවා. දෙවි ‘මහත් දයාවක් පෙන්වන පියෙක් බවත් ඔහු සියලු සැනසිල්ලේ දෙවි බවත් අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහු බවත්’ බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම “අධෛර්යයට පත් වී සිටින අයව සනසන” දෙවි ලෙසත් ඔහුව හඳුන්වා තිබෙනවා.—2 කොරින්ති 1:3, 4; 7:6.

දෙවිට ප්‍රේම කරන අය ගැන දෙවි බොහෝ සේ සැලකිලිමත් වෙන නිසා ඔවුන්ට අවශ්‍ය සැනසීම විවිධාකාරවලින් ලබා දෙනවා. (1 යොහන් 4:8) ඒ නිසා අප යාච්ඤා කර දෙවිගේ බලයේ උපකාරය ඉල්ලිය යුතුයි. එවිට සහනයක් ගෙන දෙන බයිබල් පද මතක් කරගැනීමට දෙවි උපකාර කරනවා. පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් වූ දාවිත්ට හැඟුණාක් මෙන් අපටද මෙසේ හැඟෙන්න පුළුවන්. “මම අඳුරු තැනිතලාවක ගමන් කළත් කිසිවකට භය නොවන්නෙමි. මන්ද ඔබ මා සමඟය. ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමකි.”—ගීතාවලිය 23:4.

දෙවිගේ බලයේ උපකාර ඉල්ලා යාච්ඤා කිරීම ඕනෑම තත්වයකදී උපකාරවත් වෙනවා

සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ලැබෙන උපකාර.

පළමු ශතවර්ෂයේ සිටි අගබස් නමැති අනාගතවක්තෘවරයා ‘ලොව පුරාම මහත් සාගතයක් ඇති වන බව සියල්ලන්ට දැන්වූ අතර එම සාගතය ක්ලෝදියස්ගේ කාලයේදී ඇති වුණා.’ යුදා ප්‍රදේශයේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ට ඉන් මහත් බලපෑමක් ඇති වුණා. ඒ ගැන වෙනත් ප්‍රදේශවල සිටි ක්‍රිස්තියානීන් කළේ කුමක්ද? ඒ අවස්ථාවේදී ‘ඔවුන් තමන්ට හැකි පමණින් යුදයේ වෙසෙන සහෝදරයන්ට යම් සහනාධාර යැවීමට තීරණය කළා.’ (ක්‍රියා 11:28, 29) එලෙස උපකාර කිරීමෙන් ඔවුන් තම ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්නුවා.

වර්තමානයේදීත් විපත් සිදු වන විට දෙවිගේ සේවකයන් ඒ ආකාරයෙන්ම ක්‍රියා කරනවා. සෙසු අයට උපකාර කිරීම ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් දරා තිබෙනවා. උදාහරණයකට, 2010 පෙබරවාරි 27වෙනි දින චිලී රටට බලපෑ භූමිකම්පාවෙන් පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් අයට උපකාර කරන්න ඉක්මනින්ම ඉදිරිපත් වුණා. සුනාමි තත්වය නිසා තමාගේ නිවස අහිමි වූ කාර්ලා මෙවැනි අදහසක් දැක්වුවා. “පහුවදාම සාක්ෂිකරුවන්ව දකින්න ලැබීම ලොකු දිරිගැන්වීමක්. ස්වේච්ඡාවෙන්ම වැඩ කරන්න ආපු ඒ අය මාර්ගයෙන් යෙහෝවා දෙවි අපට සහනය ලබා දුන්නා. මට ලොකු ආරක්ෂාවක් හා සැනසීමක් දැනුණා.” සාක්ෂිකරුවෙක් නොවූ ඇගේ සීයා සාක්ෂිකරුවන් එකිනෙකාට උපකාර කළ ආකාරය දැක මෙසේ පැවසුවා. “මගේ පල්ලියේ ඉන්න අය එක්ක බලද්දී මේ අය කොච්චර වෙනස්ද?” මේ සිදුවීමෙන් පසුව ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණා.

විපතට පත් අයට සෙසු ක්‍රිස්තියානීන් උපකාර කරනවා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීම විපතට පත් වන අවස්ථාවලදී ඔබට මහඟු උපකාරයක්. කෙසේවෙතත් කිසිම ස්වාභාවික විපතක් පොළොවේ කිසිම තැනක සිදු නොවන කාලයක් පැමිණේවිද? ඒ ගැන බයිබලයේ සඳහන් දේ ඊළඟ ලිපියෙන් සොයා බලමු.