Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

යොවුන් දරුවන් සමඟ අදහස් හුවමාරුව

යොවුන් දරුවන් සමඟ අදහස් හුවමාරුව

“අපේ පුතාට වයස අවුරුදු 16යි. ඉස්සර එයා හුඟක් දේවල් අපිත් එක්ක කතා කළා. ඒත් දැන් එයා කිසිම දෙයක් අපිත් එක්ක කතා කරන්නේ නැහැ. එයා කැමති කාමරයට ගිහින් තනිවම ඉන්නයි. එයාට මොනවද වෙලා තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ.”—මෙක්සිකෝවේ මීරියම්.

“මගේ දරුවෝ පොඩි කාලේදී මං කියපු දේවල් කැමැත්තෙන්ම කළා. හැබැයි දැන් ඒගොල්ලන් හිතන්නේ මට ඔවුන්ව තේරුම්ගන්න බැහැ කියලයි.”—ඕස්ට්‍රේලියාවේ ස්කොට්.

ඔබටත් යොවුන් වියේ පසු වන දරුවන් සිටිනවා නම් ඉහත අද්දැකීම් කොතරම් සත්‍යයක්ද කියා ඔබට වැටහෙයි. ළමා වියේදී දරුවන් නිතරම වගේ ඔබත් සමඟ කතා කළත් දැන් ඔවුන් යොවුන් වියේ පසු වන නිසා කතා කිරීමට එතරම් කැමැත්තක් නොදක්වනවා ඇති. ඉතාලියේ සිටින එක් මවක් වන ආන්ජේලා මෙසේ පවසනවා. “ඉස්සර මගේ පුතා හුඟක් දේවල් ගැන මගෙන් ප්‍රශ්න අහනවා. ඒත් දැන් මම තමයි එයත් එක්ක කතා කරන්න මුල පුරන්නේ. එහෙම කළේ නැත්නම් දවස් ගාණක්ම අපි දෙන්නා අතර කිසි කතා බහක් සිදු වෙන්නේ නැහැ.”

ඉහත අදහස් පළ කළ ආන්ජේලා මෙන් ඔබේ දරුවාත් ඔබ සමඟ එතරම් කතා බහ කරන්නේ නැතුව ඇති. ඔබ දරුවා සමඟ සංවාදයක් ඇරඹීමට උත්සාහ කළත් දරුවා එය මඟහැරීමට වෑයම් කළ හැකියි. උදාහරණයකට “අද පාසැලේදී මොනවද වුණේ” කියා ඇසූ විට “මොනවත් නැහැ” කියා දරුවා පැවසිය හැකියි. “ඔයා කතා කරන්නේ නැත්තේ ඇයි” කියා අසමින් ඔබ සාකච්ඡාවක් ඇරඹීමට උත්සාහ කළත් දරුවා නිහඬව සිටිය හැකියි.

සමහර දරුවන් කතා කළත් ඔවුන් පවසන්නේ දෙමව්පියන් සතුටු වන දේවල් නොවෙයි. නයිජීරියාවේ එඩ්නා නමැති මව පවසන දේ සලකා බලන්න. “මගේ දුවට මොනවා හරි වැඩක් කරන්න කියලා කිව්වාම ‘මට මගේ පාඩුවේ ඉන්න දෙන්න’ කියලා එයා කියනවා.” මෙක්සිකෝවේ සිටින රේමන් නමැති පියා තමන්ගේ 16-හැවිරිදි පුතා සම්බන්ධයෙන් එවැනිම දෙයක් අද්දකිනවා. ඒ ගැන ඔහු පවසන්නේ මෙසේයි. “මගේ පුතාට වැඩක් කරන්න කියලා කිව්වාම එයා ඒකෙන් බේරෙන්න මොනවා හරි දෙයක් කියනවා. ඒ නිසා අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇති වෙනවා.”

දෙමව්පියන් දරුවන් සමඟ කතා කිරීමට උත්සාහ කළත් දරුවන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන විට දෙමව්පියන්ට කේන්ති යා හැකියි. “තමා සිතන දේ හෙළි නොකරන විට සැලසුම් කඩාකප්පල් වෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 15:22, නව ලොව පරිවර්තනය, NW) රුසියාවේ එක් මවක් වන ඇනා පැවසුවේ මෙයයි. “මගේ පුතා කිසිම දෙයක් කතා නොකර ඉද්දී මට කේන්ති යනවා.” දරුවන් හා දෙමව්පියන් අතර අදහස් හුවමාරුව හොඳින්ම සිදු විය යුතු කාලයේදී එය සිදු නොවන්නේ ඇයි?

බාධක හඳුනාගැනීම

අදහස් හුවමාරු කිරීම නිකම්ම කතා බහ කිරීමක් නොවෙයි. යේසුස් පැවසුවේ “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙය” කියායි. (ලූක් 6:45) අදහස් හුවමාරු කිරීමෙන් අපට අන් අයගෙන් දේවල් ඉගෙනගැනීමට හැකි වෙන අතර අපි මොන වගේ අයද කියා අන් අයටත් දැනගන්න ලැබෙනවා. නමුත් තමුන්ගේ සිතේ තිබෙන දේවල් අන් අයට පවසන්න යොවුන් වියේ සිටින දරුවන් කැමති නැහැ. ඒ නිසා කලින් කතා බහ කළ දරුවන් යොවුන් වියට පැමිණි පසු කතා බහ කිරීම සීමා කළ හැකියි. තමන් කියන කරන දේවල් ගැන අන් අය අවධානයෙන් සිටිනවා කියා යොවුන් වියේ පසු වන දරුවන්ට හැඟෙන බව ඇතැම් විශාරදයන් පවසනවා. ඒ නිසා සමහර අය දෙමව්පියන් සමඟ පවා කතා නොකර තනිවම සිටීමට කැමැත්තක් දක්වනවා.

අදහස් හුවමාරුව සඳහා තිබෙන තවත් බාධකයක් වන්නේ දරුවන් යොවුන් වියට පැමිණි විට ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්තක් දැක්වීමයි. දරුවන් වයසින් වැඩෙනවාත් සමඟම පවුලේ අයගෙන් වෙන් වී ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්තක් දැක්වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔවුන් පවුලෙන් වෙන් වී කටයුතු කිරීමට තරම් සුදුසු වයසක සිටින බව ඉන් අදහස් කරන්නේ නැහැ. ඊට හේතුව ඔවුන්ට දෙමව්පියන්ගේ රැකවරණය අත්‍යවශ්‍ය වීමයි. වැඩිහිටි වියට පා තැබීමට ආසන්නයේ සිටින යොවුන් වියේ දරුවන් යම් කාරණා ගැන අන් අයට පැවසීමට කලින් තනිවම ඒ දේවල් ගැන කල්පනා කිරීමට ආශාවක් දක්වනවා.

යොවුන් වියේ පසු වන අය දෙමව්පියන් සමඟ වැඩි කතා බහක් නොකළත් සම වයසේ මිතුරන් සමඟ හොඳින් කතා කරනවා. මෙක්සිකෝවේ ජෙසිකා නමැති මව ඒ සම්බන්ධයෙන් මෙවැන්නක් පැවසුවා. “පොඩි කාලේ මගේ දුව එයාට තියෙන ප්‍රශ්න ගැන මාත් එක්ක කතා කළා. ඒත් දැන් එයා ඒ දේවල් ගැන කතා කරන්නේ යාළුවන් එක්කයි.” යොවුන් වියේ පසුවන ඔබේ දරුවාත් එලෙස ක්‍රියා කරනවා නම් ඔවුන් ඔබව “ප්‍රතික්ෂේප” කරනවා කියා සිතන්න එපා. දෙමව්පියන්ගෙන් තමන්ට ලැබෙන උපදෙස් වටින බව දරුවන් ප්‍රකාශ නොකළත් මිතුරන්ගෙන් ලැබෙන උපදෙස්වලට වඩා දරුවන් එම උපදෙස් අගය කරන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. කෙසේනමුත් දරුවන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගත හැක්කේ කෙසේද?

බාධක ජය ගැනීම

කෙළින් පාරක ඔබ වාහනයක් පදවනවා කියා සිතන්න. එවැනි පාරක ගමන් කරද්දී කිසිම බාධාවක් නොමැතිව ගමන් කළ හැකි වුණත් ඉදිරියෙන් වංගුවක් තිබුණොත් වාහනය හැරවීමට සිදු වෙනවා. ඒ හා සමානව යම් කාලයක් තිස්සේ ඔබ කිසිම බාධාවකින් තොරව දරුවා සමඟ අදහස් හුවමාරු කරන්න ඇති. නමුත් දැන් දරුවා යොවුන් වියට පා තබා තිබෙන නිසා ඔබ දරුවා සමඟ අදහස් හුවමාරු කරන ආකාරයේ යම් වෙනසක් කිරීමට සිදු වෙනවා. ඒ සඳහා පහත දැක්වෙන ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න.

‘දරුවාට අවශ්‍ය වෙලාවේදී ඔවුන් සමඟ අදහස් හුවමාරු කිරීමට මම සූදානම්ද?’ “කලට වේලාවට කියන වචන කැටයම් කළ රිදී බඳුන්වල ඇති රන් ඇපල් මෙනි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 25:11NW) එම පදයෙන් පෙන්නුම් කරන්නේ කලට වේලාවට දේවල් කිරීමේ ඇති වටිනාකමයි. මේ උදාහරණය සලකා බලන්න. ගොයම් පැසීමට කලින් අස්වැන්න නෙළීමටවත් ගොයම කැපිය යුතු කාලයේදී එය කල් දමන්නවත් ගොවියෙකුට බැහැ. ඒ වෙනුවට ගොයම පැසී තිබෙන විට ගොවියෙක් කෙසේ හෝ එය කැපිය යුතුයි. ඒ හා සමානව යොවුන් වියේ සිටින දරුවන් කතා කිරීමට පෙලඹෙන යම් නිශ්චිත වෙලාවක් තිබිය හැකියි. ඔබ ඒ අවස්ථාව මඟ හරින්න එපා. ඒ සම්බන්ධයෙන් ෆ්‍රැන්සෙස් නම් මව මෙසේ පැවසුවා. “හුඟක් වෙලාවට මගේ දුව මාත් එක්ක කතා කරන්න එන්නේ රෑ නින්දට යන වෙලාවටයි. සාමාන්‍යයෙන් මං වේලාසනින් ඇඳට යන්න හුරුවෙලා හිටියත් දුව මාත් එක්ක කතා කරන්න ආවම අපි හුඟක් දේවල් ගැන කතා කරනවා.”

මෙය අත්හදා බලන්න. යොවුන් වියේ පසු වන ඔබේ දරුවන් එතරම් කතා බහ කරන්නේ නැත්නම් ඔවුන් සමඟ යම් ගමනක් යෑමට, ගෙදර දොරේ වැඩක් කිරීමට හෝ යම් ක්‍රීඩාවක් කිරීමට සැලසුම් කරන්න. එසේ කිරීමෙන් දරුවා ඔබත් සමඟ කතා කිරීමට පෙලඹිය හැකියි.

‘දරුවන් පවසන දේවලින් ඔවුන් ඇත්තටම අදහස් කරන දේ මම තේරුම්ගන්නවාද?’ “කෑමවල රස විඳින්නේ තල්ලය. එහෙත් වචන විමසා බලන්නේ දෙසවන්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 12:11NW) යොවුන් වියේ පසු වන දරුවන් පවසන දේවලින් අදහස් වන දේ ඔබ “විමසා” බැලිය යුතුයි. සමහරවිට ඔබේ දරුවන් මෙසේ පැවසීමට ඉඩ තිබෙනවා. “මට හැම තිස්සෙම සලකන්නේ පොඩි ළමයෙකුට වගේ.” “කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ.” එවන් අවස්ථාවලදී “හැම තිස්සෙම” හෝ “කවදාවත්” යන වචන ගැන නොසිතා දරුවන් එයින් ඇත්තටම අදහස් කළේ කුමක්ද කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. සමහරවිට “මට හැම තිස්සෙම සලකන්නේ පොඩි ළමයෙකුට වගේ” කියා පැවසීමෙන් අදහස් කරන්න ඇත්තේ ඔබ ‘ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නේ නැති බව’ විය හැකියි. “කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ” කියා පැවසීමෙන් ‘තමන්ට බොහෝ දේවල් පැවසීමට තිබෙන බව ඔවුන් අඟවනවා ඇති.’

මෙය අත්හදා බලන්න. ඔබේ දරුවන් එවැනි දෙයක් පැවසුවහොත් ඔවුන්ට මෙසේ පවසන්න. “ඔයා දුකින් ඉන්න බව මට පේනවා. මම ඔයාට පොඩි ළමයෙකුට වගේ සලකනවා කියලා ඔයාට හැඟෙන්නේ ඇයි?” පසුව දරුවා පවසන දෙයට හොඳින් සවන් දෙන්න.

‘අදහස් ප්‍රකාශ කිරීමට දරුවාට බල කිරීමෙන් මම සාකච්ඡාවට බාධා ඇති කරනවාද?’ “සාමය ඇති කරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ පලය සමාදානය ඇති විට වපුරනු ලැබේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 3:18) ඔබ කතා කරන ආකාරය හා ක්‍රියා කරන ආකාරය මගින් සාමකාමී වාතාවරණයක් ගොඩනඟනවා නම් එවන් තත්වයක් තුළ අදහස් ප්‍රකාශ කිරීමට දරුවන්ටද ඉතා පහසු වෙනවා. දරුවන්ට ඔබව අවශ්‍ය බව අමතක කරන්න එපා. යම් කාරණයක් ගැන කතා කරන විට නීතිඥයෙක් මෙන් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සුදුසු නැහැ. කොරියාවේ ආන් නමැති පියා මෙසේ පැවසුවා. “ ‘ඔයා වගකීමෙන් වැඩ කරන්න ඉගෙනගන්නේ කවදාද?’ ‘මම ඔයාට කොච්චර කියලා තියෙනවද’ වැනි දේවල් ඥානවන්ත දෙමව්පියන් තම දරුවන්ට පවසන්නේ නැහැ. මගේ දරුවන්ට මම කතා කරපු විදිහෙන් හා කියපු දේවලින් ඔවුන් කොතරම් කලකිරෙන්න ඇතිද කියා මම පසුව තේරුම්ගත්තා.”

මෙය අත්හදා බලන්න. ඔබ අසන ප්‍රශ්නවලට දරුවන් පිළිතුරු දෙන්නේ නැත්නම් කළ හැක්කේ කුමක්ද? දවස ඇතුළත දරුවා කළ දේවල් ගැන අසනවා වෙනුවට ඔබ කළ දේවල් ගැන දරුවාට පවසන්න. එසේත් නැත්නම් යම් කාරණයක් ගැන පවසා ඒ ගැන ඔහුගේ මිතුරන්ට කෙසේ හැඟෙයිද කියා අසන්න. එවැනි තත්වයකදී දරුවා මිතුරන්ට දෙන්නේ කුමනාකාරයේ උපදෙස්ද කියා අසන්න.

දරුවන් සමඟ අදහස් හුවමාරු කිරීම කළ නොහැකි දෙයක් නොවෙයි. අවශ්‍යතාවයට අනුව අදහස් හුවමාරු කරන ආකාරය සකසාගැනීම වැදගත්. ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති දෙමව්පියන්ගෙන් අදහස් දැනගන්න. (හිතෝපදේශ 11:14) යොවුන් වියේ දරුවන් සමඟ කතා කිරීමේදී ‘ඇසීමට ඉක්මන් විය යුතු අතර කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. එමෙන්ම උදහස් වීමටද ප්‍රමාද විය යුතුයි.’ (යාකොබ් 1:19) මේ සියල්ලටම වඩා දරුවන්ව ‘යෙහෝවා දෙවිගේ හික්මවීමෙන්ද ඔහු සිතන ආකාරයට සිතන්න’ පුහුණු කිරීම සඳහාද ඔබ දරන වෑයම අත්හරින්න එපා.—එෆීස 6:4.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • යොවුන් වියේ සිටින මගේ දරුවා තුළ මා දකින වෙනස්කම් මොනවාද?

  • අදහස් හුවමාරුව සම්බන්ධයෙන් මා දියුණු විය යුතු පැති මොනවාද?