Skip to content

පටුනට යන්න

අතීතයෙන් සටහනක්

ගැලීලියෝ

ගැලීලියෝ

14වෙනි සහ 16වෙනි සියවස් අතර කාලය තුළදී යුරෝපයේ සිටි විද්‍යාඥයන් සහ දර්ශනවාදීන් විශ්වය ගැන කතෝලික පල්ලිය දැරූ මතයට වඩා වෙනස් මතයක් දරන්න පටන්ගත්තා. ඒ අතර හිටිය කෙනෙක් තමයි ගැලීලියෝ ගැලිලි.

ගැලීලියෝගේ කාලයට කලින් හිටිය ගොඩක් අය විශ්වාස කළේ සූර්යයා, තාරකා හා ග්‍රහලෝක පෘථිවිය වටා කැරකෙනවා කියලයි. එය එදා කතෝලික පල්ලියේත් ප්‍රධාන ඉගැන්වීමක් වෙලා තිබුණා.

ඒත් ඒ වෙනකොට පිළිඅරගෙන තිබුණු සමහර විද්‍යාත්මක ඉගැන්වීම් තමන් දකින දේවල්වලට පටහැනියි කියලා දුරේක්ෂයෙන් අහස නිරීක්ෂණය කරපු ගැලීලියෝට තේරුණා. උදාහරණයකට සූර්යයා මත තියෙන ලප එක අවස්ථාවක දකින තැන නෙමෙයි ඊළඟ අවස්ථාවේ තියෙන්නේ කියලා ගැලීලියෝ දැක්කා. ඒ නිසා ඔහු නිගමනය කළේ සූර්යයා තම අක්ෂය වටා කැරකෙනවා කියලයි. ඒ වගේ සොයාගැනීම් නිසා අභ්‍යවකාශය ගැන මිනිසුන්ගේ දැනුම වැඩි වුණත් ඒවා ගැලීලියෝ සහ කතෝලික පල්ලි අතර ගැටුමක් ඇති වෙන්නත් හේතු වුණා.

ආගම සහ විද්‍යාව

ඊට දශක ගණනාවකට පෙර නිකලස් කොපර්නිකස් කියන තාරකා ශාස්ත්‍රඥයා පෘථිවිය සූර්යයා වටා ගමන් කරනවා කියලා නිගමනයකට ඇවිත් තිබුණා. ග්‍රහ වස්තුවල චලනය ගැන කොපර්නිකස් ලියූ පොත් හැදෑරූ ගැලීලියෝ ඒ න්‍යායන් තහවුරු කරන්න පුළුවන් සාක්ෂි ඔහුගේ අධ්‍යයනවලිනුත් හොයාගත්තා. ඒත් සමච්චලයට හා අවමානයට ලක් වෙයි කියන බයට ඔහු හොයාගත්ත දේවල් ප්‍රසිද්ධ කළේ නැහැ. කොහොමවුණත් ඒ දේවල් වැඩි කාලයක් ඔහුට හිතේ හංගගෙන ඉන්න බැරි වුණ නිසා ඔහු හොයාගත්ත දේවල් ගැන කතා කරන්න පටන්ගත්තා. සමහර විද්‍යාඥයන්ට නම් ඒක රිස්සුවේ නැහැ. ඒ වගේම පල්ලියේ පූජකයෝත් ඔහුව හෙළාදැක්කා.

කොපර්නිකස්ගේ අදහස්වලට විරුද්ධව කතෝලික පල්ලියෙන් අලුත් නියෝගයක් නිකුත් කර ඇති බව 1616දී බෙලාර්මන් කාදිනල්වරයා ගැලීලියෝට දැනුම් දුන්නා. ඒ නියෝගයට එකඟව වැඩ කරන්න කියලත් ඔහුට තදින්ම කිව්වා. ඒ නිසා වසර ගණනාවක් යන තුරුම සූර්යයා වටා පෘථිවිය ගමන් කරනවා කියන අදහස ගැන ගැලීලියෝ ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ.

1623දී කතෝලික සභාවේ නායකයා වුණේ අටවෙනි අර්බන් පාප්වරයායි. ඔහු ගැලීලියෝගේ මිතුරෙක්. ඒ නිසා 1616දී නිකුත් කළ නියෝගය අහෝසි කරන්න කියලා ගැලීලියෝ ඔහුගෙන් ඉල්ලා සිටියා. එහෙම කරනවා වෙනුවට පාප්වරයා ගැලීලියෝට කිව්වේ දෙන්නගෙන් කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව කොපර්නිකස්ගේ හා ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලයි.

ඒ නිසා ගැලීලියෝ ඒ සම්බන්ධයෙන් පොතක් ලිව්වා. (Dialogue on the Great World Systems) කාගෙවත් පැත්තක් ගන්න එපා කියලා පාප්වරයා කිව්වත් ඔහු ඒ පොතේ තොරතුරු සටහන් කරලා තිබුණේ කොපර්නිකස්ගේ න්‍යායන්ට පක්ෂවයි. ඒ නිසා පාප්වරයා කියපු දේ නොකරපු එකෙන් ඔහු පාප්වරයාට කළේ අගෞරවයක් කියලා ගැලීලියෝගේ සතුරන් චෝදනා කළා. ඒත් එක්කම එල්ල වූ තර්ජන ගර්ජන නිසා අකමැත්තෙන් වුණත් කොපර්නිකස්ගේ ඉගැන්වීම් අත්හරින්න ගැලීලියෝට සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි 1633දී කතෝලික අධර්ම මර්ධනාධිකරණයෙන් ඔහුව දිගටම නිවාස අඩස්සියේ තියන්න නියෝග කළා. නව සොයාගැනීම් ගැන ලියන එකත් තහනම් කළා. ගැලීලියෝ නිවාස අඩස්සියේ සිටියදීම 1642 ජනවාරි 8වෙනිදා මිය ගියා.

කතෝලික පල්ලිය මගින් ගැලීලියෝට කරපු චෝදනා වැරදියි කියලා දෙවෙනි ජුවාම් පාවුලු පාප්වරයා පිළිගත්තා

කතෝලිකයන්ට කියවන්න තහනම් කරලා තිබුණු පොත් අතර අවුරුදු සිය ගණනක් යන කල්ම ගැලීලියෝගේ පොත් ඇතුළත් කරලා තිබුණා. ඒත් අධර්ම මර්ධනාධිකරණය මගින් අවුරුදු 300කට කලින් ගැලීලියෝට විරුද්ධව දුන් නියෝගය ගැන 1979දී කතෝලික සභාව යළිත් සලකා බැලුවා. ප්‍රතිඵලයක් හැටියට කතෝලික පල්ලිය මගින් ගැලීලියෝට කරපු චෝදනා වැරදියි කියලා 1992දී දෙවෙනි ජුවාම් පාවුලු පාප්වරයා පිළිගත්තා.