Skip to content

පටුනට යන්න

ජීවත් වෙන්න ආසාවක් ඇති වුණා

ජීවත් වෙන්න ආසාවක් ඇති වුණා

මම මුණින් අතට වතුරේ වැටිලා හිටියා. හුස්ම ගන්න ඔළුව උස්සන්න හැදුවත් බැරි වුණා. අනිත් පැත්තට හැරෙන්න හැදුවත් අත පය වාරු නැහැ කියලා මට දැනුණා. ටික ටික වතුර පෙවෙන්න පටන්ගත්තා. 1991දී සිද්ධ වෙච්ච ඒ දේ නිසා මගේ මුළු ජීවිතේම අඳුරු වුණා.

මම හැදුණේ වැඩුණේ හංගේරියාවේ ගමක. 1991 ජූනි මාසේ මායි යාළුවෝ කීපදෙනෙකුයි ටිසා ගඟේ නාන්න ගියා. අපිට එතන එච්චර හුරු පුරුදු තැනක් නෙමෙයි. එතන ගැඹුරු තැනක් කියලා හිතලා කිමිදෙන්න මම එක පාරටම වතුරට පැන්නා. මම කෙරුවේ ලොකු මෝඩකමක්. මගේ බෙල්ල හරියේ කොඳු ඇට තුනක් කැඩිලා ලොකු හානියක් වුණා. මම හෙල්ලෙන්නේ නැතුව මුණින් අතට වැටිලා ඉන්නවා දැක්ක මගේ යාළුවෙක් මාව හෙමීට ගොඩට ඇදලාගත්තා. තව පොඩ්ඩෙන් මම ගිලෙනවා.

ලොකු අකරතැබ්බක් වෙලා කියලා මට තේරුණා. මාව හෙලිකොප්ටරයෙන් ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එහෙදී වෛද්‍යවරු මගේ කොඳු ඇට පේළියේ සැත්කමක් කරලා බුඩාපෙස්ට්වල තියෙන පුනරුත්ථාපන රෝහලට යැව්වා. මං මාස 3ක් උඩබැලි අතට ඇඳේ හිටියා. මගේ ඔළුව එහාට මෙහාට කරන්න පුළුවන් වුණත් උරහිසෙන් පල්ලෙහා පණ තිබුණේ නැහැ. අවුරුදු 20ක් තරම් තරුණ කාලෙම තනියම වැඩක් පළක් කරගන්න බැරුව ගිය නිසා මැරුණා නම් හොඳයි කියලා මට හිතුණා.

මම ගෙදර ගියාම මාව බලාගන්න විදිහ ගැන මගේ දෙමව්පියන්ට පුහුණුවක් දුන්නා. මාව බලාගන්න එක අම්මාටයි තාත්තාටයි ලේසි වුණේ නැහැ. ඒ දෙන්නා ශාරීරිකවයි මානසිකවයි ලොකු දුකක් වින්දා. අවුරුද්දකට විතර පස්සේ මමත් මානසිකව වැටුණ නිසා මට මනෝ වෛද්‍යවරයෙකුගේ උපකාර ලැබුණා. ඒ නිසා මගේ ආබාධය ගැන හිතන විදිහ වෙනස් කරගන්න මට පුළුවන් වුණා.

මේ කාලෙදී ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න මම පටන්ගත්තා. ජීවිතේට අරමුණක් තියෙනවාද? ඇයි මට මෙහෙම වුණේ? මේ ප්‍රශ්නවලට මං පොත් පත්වලින් උත්තර හෙව්වා. බයිබලයත් කියෙව්වා. ඒත් කියවපු දේවල් තේරුණේ නැති නිසා මං ඒකත් පැත්තකට දැම්මා. මගේ ප්‍රශ්න ගැන මං පූජකයෙක් එක්ක කතා කළා. ඒකෙනුත් වැඩක් වුණේ නැහැ.

1994දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් තාත්තාව හම්බ වෙන්න ආවාම මාත් එක්ක කතා කරන්න කියලා තාත්තා ඒ අයට කිව්වා. දෙවියන්ගේ අරමුණ හැම දුක් වේදනාවක්ම අයින් කරලා පොළොව පාරාදීසයක් කරන එකයි කියලා ඒ අය මට කිව්වා. ඒ වගේ දෙයක් කනට මිහිරි වුණත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද කියන සැකය මට ඇති වුණා. ඒත් බයිබලය ගැන ඉගෙනගන්න උදව් වෙන පොත් දෙකක් ඒ අය දුන්නාම මං ඒවා ගත්තා. ඒ පොත් දෙක කියෙව්වට පස්සේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න මං කැමති වුණා. මට යාච්ඤා කරන්න කියලත් ඒ අය උනන්දු කෙරුවා.

දෙවියන් මං ගැන සැලකිලිමත් කියලා මට ලොකු විශ්වාසයකුත් ඇති වුණා

ඒ අය එක්ක බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කරගෙන යද්දී මට  තිබුණ හුඟක් ප්‍රශ්නවලට උත්තර ලැබුණා. ඒ වගේම දෙවියන් මං ගැන සැලකිලිමත් කියලා මට ලොකු විශ්වාසයකුත් ඇති වුණා. අවුරුදු 2ක් බයිබලේ පාඩම් කෙරුවාට පස්සේ 1997 සැප්තැම්බර් 13වෙනිදා ගෙදර තිබුණ නාන ටැංකියේ මම බව්තීස්ම වුණා. ඒක මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස්වලින් එකක්.

මම 2007දී බුඩාපෙස්ට්වල තියෙන ආබාධිත අයව බලාගන්න තැනකට ගිහින් නතර වුණා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා දෙවියන් ගැන ඉගෙනගත්තු දේවල් අනිත් අයට කියලා දෙන්න. අව්ව තියෙන දවස්වල මං එළියට ගිහින් යන එන අය එක්ක කතා කරනවා. මෝටරයක් සවි කරපු, නිකටෙන් පාලනය කරලා පදවන්න පුළුවන් රෝද පුටුවක් තියෙන නිසා මට එහෙ මෙහෙ යන්නත් පුළුවන්.

අපේ සභාවේ කරුණාවන්ත පවුලක් දුන්න සල්ලිවලින් මම කොම්පියුටරයක් ගත්තා. ඒක හදලා තියෙන්නේ ඔළුව එහාට මෙහාට කළාම වැඩ කරන විදිහටයි. සභාවේ අය සේවයේ ගියාම ගෙවල්වල හිටපු නැති අයගේ විස්තර මට දෙනවා. මම ඒ අයට ඉන්ටර්නෙට් එකෙන් කතා කරනවා නැත්නම් ලියුම් ලියනවා. මෙහෙම කරන එකෙන් මගේ හැකියාවන් දියුණු කරගන්නත් මගේ ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.

ඔළුව එහාට මෙහාට කළාම වැඩ කරන කොම්පියුටරයක් පාවිච්චි කරලා බයිබලයේ පණිවිඩය අනිත් අයට කියනවා

මම රැස්වීම්වලටත් යනවා. අපේ රැස්වීම් තියෙන්නේ උඩ තට්ටුවේ. රැස්වීම් ශාලාවට ගියාම සහෝදරයන් මාව රෝද පුටුවත් එක්කම පරෙස්සමින් උස්සලා එතනට ගෙනියනවා. රැස්වීමේ උත්තර දෙන අවස්ථාවලදී මගේ ළඟ ඉන්න සහෝදරයෙක් මං වෙනුවෙන් අත උස්සනවා. ඊටපස්සේ බයිබලය හරි පාඩම් කරන ලිපිය හරි මට පේන්න ඇල්ලුවාම මං ඒක බලලා උත්තර දෙනවා.

මට තනියම කිසිම දෙයක් කරගන්න බැහැ. මම දවස තිස්සෙම ඉන්නේ වේදනාවෙන්. ඒ නිසා කලින් කලට කලකිරෙනවා. මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියද්දී යෙහෝවා දෙවියන් ඒවාට සවන් දෙනවා කියලා මං දන්නවා. දෙවියන් එක්ක තියෙන ඒ බැඳීමෙන් ලොකු සහනයක් ලබනවා. බයිබලය කියවන එකත් දෙවියන්ට නමස්කාර කරන සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන එකත් මට ලොකු ශක්තියක්. ඒ අය එක්ක තියෙන බැඳීමයි, ඒ අය මට කරන උපකාරයි, මං වෙනුවෙන් කරන යාච්ඤායි නිසා මම ශක්තිමත් වෙනවා.

අවශ්‍යම වෙලාවේදී දෙවියන් මට සහනය ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි පාරාදීස පොළොවේ කිසිම අසනීපයක් නැතුව ඉන්න පුළුවන් කියන බලාපොරොත්තුවත් දීලා තියෙනවා. ‘උඩ පනිමින් ඇවිදිමින් දෙවිට ප්‍රශංසා කරන්න’ පුළුවන් කාලේ එනකම් මං බලාගෙන ඉන්නේ දෙවියන් මට පෙන්නුව ඉමහත් ප්‍රේමයට හා කරුණාවට ඔහු වෙනුවෙන් යමක් කරන්නයි.—ක්‍රියා 3:6-9.