Skip to content

පටුනට යන්න

මේද පර්සියාව ගැන බයිබල් වාර්තාව

මේද පර්සියාව ගැන බයිබල් වාර්තාව

මේද පර්සියාව ගැන බයිබල් වාර්තාව

බයිබල් ඉතිහාසයේ තිබූ විවිධ ලෝක අධිරාජ්‍යයන් හතෙන්, මෙහි කතා කරන්නේ හතරවෙනි අධිරාජ්‍යය ගැනයි. මෙම එක් එක් අධිරාජ්‍යය ගැන සාකච්ඡා කරන ලිපි මාලාවේ අරමුණ වන්නේ, බයිබලය දෙවිගෙන් ලැබුණු විශ්වසනීය පොතක් බව පෙන්වීම හා මිනිසුන්ගේ අනිසි පාලනය නිසා ඇති වී තිබෙන දුක් වේදනා අවසන් වන බවට බලාපොරොත්තුවක් අප තුළ ඇති කිරීමයි.

ක්‍රිස්තු පූර්ව 550දී පර්සියාවේ දෙවෙනි සයිරස් රජ, බලවත් මේදියා රාජ්‍යය තම පාලනය යටතට ගත්තා. එතැන් සිට ඒ සම්පූර්ණ රාජ්‍යයම හැඳින්වූයේ මේද පර්සියාව ලෙසයි. එය ඉතාමත් බලවත් හා ධනවත් රාජ්‍යයක්. පර්සියානු බොක්කට උතුරින් පිහිටි මෙම රාජ්‍යය ක්‍රමක්‍රමයෙන් විශාල වී බටහිර දෙසට ඊජිප්තුව දක්වාද නැඟෙනහිර දෙසට ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශය දක්වාද විහිදී ගියා.

ක්‍රිස්තු පූර්ව 539දී මේද පර්සියානු අධිරාජ්‍යය විසින් බැබිලෝනි අධිරාජ්‍යය පරාජය කළා. එදා සිට ක්‍රි.පූ. 331 වන තුරු එනම් අවුරුදු 200කටත් වඩා කාලයක් යුදෙව්වන්ව පාලනය කළේ මේද පර්සියාවයි. එම කාලය අතරතුරේදී සිදු වූ වැදගත් සිද්ධීන් ගැන බයිබල් පොත් කිහිපයකම සඳහන් වෙනවා.

විශ්වාස කළ හැකි තොරතුරු

බැබිලෝනිවරුන් විසින් ක්‍රි.පූ. 607දී යෙරුසලමත් එහි තිබූ දේවමාලිගාවත් විනාශ කළා. නමුත් පසුව දේවමාලිගාව නැවත ගොඩනැඟීම සඳහා යුදෙව්වන්ට තම මව්බිමට යෑමට මේද පර්සියාවේ දෙවන සයිරස් රජ අවසර දුන් බව බයිබලයේ සඳහන් වෙනවා. (එස්රා 1:1-7; 6:3-5) වර්ෂ 1879දී බැබිලෝනියෙන් සොයාගත් සිලින්ඩරාකාර මැටි ලියවිල්ල ඒ බව සනාථ කරනවා. එහි සයිරස් යන නම සඳහන් වන අතර ඔහු යටත් කරගත් රාජ්‍යයන්වලට වහල් වී සිටි ජනයාව නිදහස් කිරීමේ පුරුද්දක් ඔහුට තිබූ බවත් එහි සඳහන් වෙනවා. සයිරස් රජ ගැන යෙහෝවා දෙවි පැවසූ දෙය අනාගතවක්තෘ යෙසායා වාර්තා කළේ මේ ආකාරයටයි. “‘මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”—යෙසායා 44:28.

දේවමාලිගාව සෑදීමට අවශ්‍ය මුදල් “රාජකීය භාණ්ඩාගාරයෙන් ගෙවීමට” සයිරස් රජ නියෝග කළ බව බයිබල් ලේඛක එස්රා පවසනවා. (එස්රා 6:3, 4) මෙම වාර්තාව ඉතිහාස වාර්තාවලින්ද ඔප්පු වෙයි. එක් පොතක මෙසේ සඳහන් වුණා. “පර්සියාවේ රජවරුන් ප්‍රතිපත්තියක් ලෙස ඔවුන්ගේ අධිරාජ්‍යය පුරා සිටි විවිධ ජාතීන්ට, තම තමන්ගේ වටිනා ගොඩනැඟිලි නැවත පිළිසකර කිරීමට කටයුතු කර තිබෙනවා.”—Persia and the Bible.

බයිබලයේ වාර්තා වන ආකාරයට යුදෙව්වන්ගේ සතුරන්, ඔවුන්ට විරුද්ධව මහා දාරියුස් රජට චෝදනා පත්‍රයක් යවා තිබෙනවා. එහි සඳහන් වුණේ දේවමාලිගාව නැවත ගොඩනැඟීමට සයිරස් රජ විසින් ඇත්තටම යුදෙව්වන්ට අවසර දුන්නාද කියා නැවත සොයා බලන්න කියායි. ඉන්පසු වහාම දාරියුස් රජ, එවැනි ලියවිල්ලක් තිබෙනවාද කියා සෙවීමට අණ කළ අතර එක්බටානා නගරයේ තිබී සයිරස් රජගේ රාජ්‍ය නියෝගය සහිත ලියවිල්ල සොයාගත්තා. ඒ නිසා නතර කර තිබූ දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩකටයුතු නැවත ‘වහාම ක්‍රියාත්මක කරන්න’ කියා දාරියුස් රජ නියෝගයක් නිකුත් කළා. ඉන්පසු විරුද්ධවාදීන් නිහඬ වුණා. *එස්රා 6:2, 7, 12, 13.

මෙම වාර්තාව නිවැරදි බවට ඉතිහාසයද සාක්ෂි සපයනවා. එක්බටානා නගරය මේද පර්සියාවේ අගනුවරයි. සයිරස් රජට එහි මාලිගාවක් තිබුණු බව ඉතිහාසඥයන් පවසනවා. ඊට අමතරව මේද පර්සියාවේ රජවරුන් තම අධිරාජ්‍යය තුළ ආගමික ගැටුම් ඇති වූ විට ඒවා නිරවුල් කිරීමට යම් ලිපි යවා තිබෙන බවද සොයාගෙන තිබෙනවා.

විශ්වාස කළ හැකි අනාවැකි

තවත් අනාගතවක්තෘවරයෙක් වූ දානියෙල්ට යෙහෝවා දෙවි දර්ශනයක් දකින්න සැලැස්වුවා. එහිදී ඔහු දුටුවේ මුහුදෙන් මතු වන මෘගයන් සතරදෙනෙකුවයි. ඉන් අධිරාජ්‍යයන් සතරක් නියෝජනය කළා. පියාපත් සහිත සිංහයෙකු වන පළමු මෘගයාගෙන් නියෝජනය වුණේ බැබිලෝනියයි. දෙවෙනි මෘගයා වලසෙකු හා සමානයි. උගෙන් නියෝජනය වුණේ මේද පර්සියාවයි. “ඌට මෙසේ කියන ලදි. ‘නැඟිට බොහෝ මස් කන්න!’”—දානියෙල් 7:5.

කෑදර වලසෙකු මෙන් මේද පර්සියාවද රටවල් අල්ලාගැනීමට මහත් කෑදරකමක් දැක්වූවා. සයිරස් රජ මේදියාව හා ලිඩියාවද පසුව ඔහුගේ පුත් වූ දෙවෙනි කැම්බිසස්, ඊජිප්තුවද අල්ලාගත්තා. ඔවුන්ගෙන් පසුව පැමිණි රජවරුන්ද ඒ ආකාරයටම තම අධිරාජ්‍යය ව්‍යාප්ත කළා.

“බැටළුවෙකු” පිළිබඳ දර්ශනයක්ද දානියෙල් දුටුවා. එම ‘බැටළුවා බස්නාහිර දෙසටත් උතුරු දෙසටත් දකුණු දෙසටත් ඇනගෙන ඇනගෙන ගියා.’ එම දර්ශනය පැහැදිලි කරමින් දේවදූතයෙක් දානියෙල්ට මෙසේ පැවසුවා. “ඔබ දුටු අං දෙකක් ඇති බැටළුවාගෙන් නියෝජනය වන්නේ මේදිය සහ පර්සියානු රජවරුන්ය.” අනාවැකියේ සඳහන් වූ ලෙසම මේද පර්සියානු අධිරාජ්‍යය, බැබිලෝනිය ඇතුළු වෙනත් ජාතීන්වද යටත් කරගත්තා.—දානියෙල් 8:3, 4, 20.

බැබිලෝනියේ වැටීම පිළිබඳ යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා. ‘යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය. නුවර දොරටු පවා ඔහුට විවෘත කර දුන්නේය.’ (යෙසායා 45:1) බැබිලෝනි අධිරාජ්‍යය පරාජය කරන රජ ඉපදීමටත් පෙර ඔහුගේ නම සඳහන් කර තිබුණ අතර පරාජය කරන ආකාරය ගැනද යෙසායා පැවසුවා. ඔහු එම අනාවැකිය පැවසුවේ බැබිලෝනියේ වැටීමට වසර 200කට පමණ ඉහතදීයි. යෙසායා මෙන්ම අනාගතවක්තෘ යෙරෙමියාද පැවසුවේ බැබිලෝනියේ ආරක්ෂක දිය අගල වියළී යන බවයි. (යෙසායා 44:27; යෙරෙමියා 50:38) එම අනාවැකි ඒ ආකාරයෙන්ම ඉටු වූ බවට ග්‍රීක ඉතිහාසඥයන් වන හෙරඩෝටස් සහ සෙනෆන් පවසනවා. ඊට අමතරව ඔවුන් පවසන්නේ සයිරස්ගේ හමුදාවන් පැමිණි රාත්‍රියේදී බැබිලෝනිවරුන් මහත් මංගල්‍යයක් පවත්වමින් සිටි බවයි. එයත් බයිබලයේ සඳහන් කර තිබූ අනාවැකියක්. (යෙසායා 21:5, 9; දානියෙල් 5:1-4, 30) යුප්‍රටීස් ගඟේ දිය පහර වෙනතකට හැරවූ සයිරස් රජ, විවෘත වී තිබූ දොරටුවලින් ඔහුගේ හමුදාව සමඟ ඇතුල් වී එක රැයකින් බැබිලෝනිය පරාජය කළා.

මෙම සිදුවීම බයිබලයේ තවත් අනාවැකියක ඉටු වීමට මඟපෑදුවා. එය නම් දෙවිගේ සෙනඟ වසර 70කට පසුව බැබිලෝනියෙන් නිදහස ලබන බවට වූ අනාවැකියයි. (යෙරෙමියා 25:11, 12; 29:10) යෙහෝවා දෙවි, යෙරෙමියා මාර්ගයෙන් පැවසූ එම අනාවැකිය නියමිත කාලයේදී ඉටු කරමින් ක්‍රි.පූ. 537දී යුදෙව්වන් නැවත යෙරුසලමට පැමිණියා.

විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්

විශේෂිත ‘තැනැත්තෙකුගේ’ පැමිණීම ගැන බයිබලයේ පළමු වන පොතේ සඳහන් වෙනවා. (උත්පත්ති 3:15) මේද පර්සියාව, බැබිලෝනිය පරාජය කළ පසුව දානියෙල් ඒ විශේෂිත “තැනැත්තා” වන මෙසියස් හෙවත් ගැලවුම්කරු පැමිණෙන නිශ්චිත කාලය ගැන සඳහන් කළා. එය බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. ‘යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වෙනවා.’ (දානියෙල් 9:25) අනාවැකියෙන් පැවසූ මෙම සති 69 ආරම්භ වුණේ කවදාද?

බැබිලෝනියේ පරාජයත් සමඟම යුදෙව්වන්ට තම මව්බිම වෙත යෑමට සයිරස් රජ නිදහස දුන්නා. නමුත් වසර ගණනාවක් යන තුරු යෙරුසලම නගරය සහ එහි පවුරු තිබුණේ ගරාවැටුණු තත්වයකයි. එය නැවත ගොඩනැඟීමට නියෝගය නිකුත් වුණේ ක්‍රි.පූ. 455දීයි. එනම් අර්තක්ෂස්තා රජ තම කුසලාන දරන්නා වන නෙහෙමියාට අවසර දුන් අවස්ථාවේදීයි. (නෙහෙමියා 2:1-6) ඒ අනුව සති 69 ආරම්භ වුණේ ක්‍රි.පූ. 455 සිටයි.

දානියෙල්ගේ අනාවැකියට අනුව මෙසියස් හෙවත් ගැලවුම්කරු පැමිණෙන්නේ සති 69කට පසුවයි. සාමාන්‍යයෙන් සතියකට දින හතක් තිබෙන නිසා සති 69ක, දින 483ක් තිබෙනවා. බයිබලයේ සඳහන් සමහර අනාවැකිවල දවසක් ගණන්ගන්නේ අවුරුද්දක් ලෙසයි. (ගණන් කතාව 14:34; එසකියෙල් 4:6) ඒ නිසා එම සති 69 ගණන්ගැනෙන්නේ අවුරුදු 483ක් ලෙසයි. ක්‍රි.පූ. 455 සිට අවුරුදු 483ක් ඉදිරියට ගණන් කළ විට අප පැමිණෙන්නේ ක්‍රි.ව. 29ටයි. එනම් යේසුස් බව්තීස්ම වුණ අවුරුද්දටයි. *

දානියෙල්ගේ අනාවැකියත් යේසුස්, මෙසියස් බවට කදිම සාක්ෂියක්. ඉටු වී තිබෙන බයිබලයේ සඳහන් මෙවැනි අනාවැකි, ඉදිරියේදී ඉටු වීමට තිබෙන අනාවැකි සම්බන්ධයෙන් අපට බලාපොරොත්තුවක් සපයනවා. ළඟදීම දේවරාජ්‍යයේ රජ ලෙස යේසුස්, මේ පොළොවේ තිබෙන මිනිසුන්ට හානි කරන සියලුම පාලන ක්‍රම ඉවත් කරනවා. ඉන්පසු ඔහු බයිබලයේ සඳහන් තවත් පොරොන්දු ඉටු කිරීමට නියමිතයි. ඉන් එකක් වන්නේ මිය ගිය අයව නැවත නැඟිටුවා පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව දීමයි.—දානියෙල් 12:2; යොහන් 5:28, 29; එළිදරව් 21:3-5.

^ 9 ඡේ. දාරියුස් යන නමින් සිටි රජවරුන් තිදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

^ 20 ඡේ. සති 69 ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 197-199 දක්වා පිටු බලන්න.