Skip to content

පටුනට යන්න

උඩුගම් බලා පිහිනන සැමන් මත්ස්‍යයා

උඩුගම් බලා පිහිනන සැමන් මත්ස්‍යයා

නිර්මාණයක්ද?

උඩුගම් බලා පිහිනන සැමන් මත්ස්‍යයා

● බිත්තර දමන කාලයේදී බොහෝ සැමන් මත්ස්‍ය විශේෂ මුහුදේ සිට ගංගාවලට එනවා. ඒ ගමනේදී ගඟ ගලන දිශාවට විරුද්ධව පිහිනීමට උන්ට සිදු වෙනවා. ගලන දිය පහරකට විරුද්ධව පිහිනීම පහසු කාර්යයක් නොවෙයි. එසේනම් උන් එය කරන්නේ කෙසේද?

මේ ගැන සිතා බලන්න: සැමන් මසුන් විරුද්ධ දිශාවට පිහිනීම සඳහා දැඩි වෙහෙසක් දරන්නේ නැහැ. උන් කරන්නේ ජලයේ තිබෙන කුඩා දිය සුළි ප්‍රයෝජනයට ගැනීමයි. සාමාන්‍යයෙන් දිය පහරෙහි ගල්, ගස්වල අතු හෝ වෙනත් දේවල් තිබෙන විට ඒ දෙපස කුඩා දිය සුළි ඇති වෙනවා. මෙම මසුන් කරන්නේ මේ සුළි අතරින් පිහිනීමයි. ඒ සඳහා උන්ගේ ශරීරවල හොඳ නම්‍යශීලීත්වයක් තිබෙනවා. (රූප සටහන බලන්න) සමහර මාළු රංචුද මේ ක්‍රමය යොදාගන්නවා. එනම් රංචුවේ ඉදිරියෙන්ම පිහිනන මාළුවා නිසා ඇති වන දිය සුළි, පිටුපසින් එන මසුන් ප්‍රයෝජනයට ගන්නවා.

පර්යේෂකයන් උත්සාහ කරන්නේ සැමන් මසුන්ගේ මෙම පිහිනීමේ තාක්ෂණය යොදාගනිමින් හෙමින් ගලන දිය පහරවලින් විදුලිය නිපදවිය හැකි යන්ත්‍ර නිර්මාණය කිරීමටයි. දැනට තිබෙන ජල විදුලි බලාගාරවල ඇති යන්ත්‍රවලින්, සාර්ථකව විදුලිය නිපදවීමට නම් අඩුම තරමින් පැයට සැතපුම් පහක වේගයකින්වත් ගලන දිය පහරක් අවශ්‍යයි. නමුත් මේ අලුත් සොයාගැනීම නිසා පැයට සැතපුම් දෙකක වේගයෙන් ගලන දිය පහරකින් වුණත් විදුලිය නිපදවිය හැකි යන්ත්‍රයක් නිපදවීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. * මෙම අලුත් තාක්ෂණය ගැන එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යය මයිකල් බර්නිට්සාස් මෙසේ පැවසුවා. “කොහොමවුණත් අපිට සැමන් මත්ස්‍යයාගේ අසලකටවත් එන්න බැහැ.”

මේ ගැන කල්පනා කර බලන්න. ගලා යන දිය පහර ප්‍රයෝජනයට ගනිමින් උඩුගම් බලා පිහිනීමට සැමන් මසුන්ට ඇති හැකියාව උන්ට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[පාදසටහන]

^ 5 ඡේ. ලොව පුරා තිබෙන බොහෝ ගංගාවල ජලය ගලා බසින්නේ පැයට සැතපුම් තුනකටත් වඩා අඩු වේගයකින් නිසා මේ තාක්ෂණය ඉතා ප්‍රයෝජනවත්.

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © photolibrary. All rights reserved.