Skip to content

පටුනට යන්න

ඔයාගේ සහකරු අසභ්‍ය දර්ශන බලනවා නම් . . .

ඔයාගේ සහකරු අසභ්‍ය දර්ශන බලනවා නම් . . .
  • “මට දැනුණේ මගේ මහත්තයා කීප සැරයක්ම අනාචාරයේ යෙදුණා වගේ.”

  • “මට ලොකු ලැජ්ජාවක් දැනුණා. මං ලස්සන නෑ. මගෙන් කිසි වැඩක් නෑ කියලා මට හිතුණා.”

  • “මේ ප්‍රශ්නේ ගැන මං කාත් එක්කවත් කතා කළේ නෑ. තනියෙන්ම දුක දරාගත්තා.”

  • “යෙහෝවාටත් මං ගැන කිසි ගාණක් නෑ කියලයි මට හිතුණේ.”

ඒ අද්දැකීම්වලින් පැහැදිලියි තමන්ගේ සැමියා අසභ්‍ය දර්ශන බලනවා කියලා දැනගත්තාම බිරිඳකට කොහොමද දැනෙන්නේ කියලා. සමහරවිට සැමියෙක් මාස ගාණක්, අවුරුදු ගාණක් හොර රහසේම ඒ වගේ දෙයක් කරලා තියෙනවා නම් බිරිඳට හිතෙන්න පුළුවන් තවත් නම් එයාව විශ්වාස කරන්න බැහැ කියලා. බලන්න එක බිරිඳක් කියන දේ. “මං කල්පනා කළා මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ එකම වහළක් යට මාත් එක්ක ජීවත් වුණ මේ මනුස්සයා කවුද කියලා. එයා මේ විදිහට තව කොච්චර නං දේවල් මගෙන් හංගනවා ඇද්ද!”

මේ ලිපිය ලියලා තියෙන්නේ අසභ්‍ය දර්ශන බලන සැමියෙක්ගේ බිරිඳක්ව මනසේ තියාගෙන. a යෙහෝවාට ඒ වගේ බිරිඳකගේ හැඟීම් තේරෙනවා කියලත් ඔහු එයාට උදව් කරන්න, එයාව සනසන්න සූදානමින් ඉන්නවා කියලත් මේ ලිපියේ සහතික කරනවා. b

ඔයා නිර්දෝෂ කෙනා නම් . . .

ඇත්ත, සැමියා කරන හැම දෙයක්ම පාලනය කරන්න ඔයාට බැහැ. හැබැයි ඒ තත්වෙට හොඳට මුහුණ දීලා සන්සුන්ව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

ඔයාටම දොස් කියාගන්න එපා. බිරිඳකට හිතෙන්න පුළුවන් සැමියෙක් අසභ්‍ය දර්ශන බලන්න පෙලඹෙන්නේ බිරිඳගේ වරදින් කියලා. ඇලිස් මෙහෙම කියනවා. “මට හැම තිස්සේම හිතුණා ‘මං ඉද්දී මහත්තයා ඇයි වෙන ගෑනු දිහා බලන්නේ’ කියලා. එයාට මාව ලස්සන නෑ කියලයි මට දැනුණේ.” සමහර භාර්යාවන් තමන්ටම දොස් කියාගන්නවා. එයාලා හිතනවා එයාලා වැඩ කරපු විදිහ නිසා තමයි මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග ගියේ කියලා. බලන්න ඩැනියෙල් c කියන දේ. “මං මහ කාලකණ්ණි ගැහැනියක්. මට දැනුණේ මං හැම තිස්සේම කේන්ති ගත්ත නිසා තමයි මගේ පවුල විනාශ වුණේ කියලා.”

ඔයාටත් දැනෙන්නේ ඒ විදිහටමද? එහෙමනම් අමතක කරන්න එපා ඔයාගේ මහත්තයා කරන දේවල් නිසා දෙවියන් කවදාවත් ඔයාට දොස් කියන්නේ නැහැ කියලා. යාකොබ් 1:14 කියන්නේ මෙහෙමයි. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය.” (රෝම 14:12; ෆිලි. 2:12) යෙහෝවා දෙවියන් ඔයාට වරද පටවනවා වෙනුවට ඔයා දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න එක ගැන ඔහු ඔයාව ගොඩක් අගය කරනවා.—2 ලේක. 16:9.

අනිත් අතට සැමියෙක් අසභ්‍ය දර්ශන බලන්නේ එයාගේ බිරිඳ ලස්සන නැති නිසා කියලා හිතන්න කිසිම පදනමක් නැහැ. මොකද ප්‍රවීණයන් කියන්නේ මෙහෙමයි. “කාමුක දර්ශන බලන කෙනෙක් ඒවාට ඇබ්බැහි වෙනවා. එයාට එන ආශාවන් හරිම අසාමාන්‍යයි. ඒවා සන්සිඳවන්න කිසිම ගැහැනියකට බැහැ.”

ඕනෑවට වඩා දුක් වෙන්න එපා. කැතරින්ට මේ ප්‍රශ්නේ කොච්චර බලපෑවාද කියනවා නම් එයා කියනවා කොයි වෙලෙත් එයාගේ ඔළුවට එන්නේ මහත්තයා අසභ්‍ය දර්ශන බලන එක ගැනමයි කියලා. බලන්න ෆ්‍රාන්සස් කියන දේ. “මහත්තයා කොහෙද ගියේ කියලා දන්නේ නැත්නං මට නිකං පිස්සු වගේ. කිසිම වැඩක් කරගන්න බෑ.” සමහරවිට සැමියාගේ මේ ප්‍රශ්නේ ගැන දන්න සභාවේ අයට මුහුණ දෙන්නත් බිරිඳකට අමාරු වෙන්න පුළුවන්. අනිත් අතට එයාව කවුරුත් තේරුම්ගන්නේ නැහැ කියලත් එයා තනි වෙලා කියලත් බිරිඳකට දැනෙන්න පුළුවන්.

එහෙම දැනෙන එක සාමාන්‍යයි. හැබැයි ඒ මත්තෙම ඉන්න ගියොත් ඔයා තවත් වැටෙයි. ඒ නිසා ඒ දේවල් ගැන හිතනවා වෙනුවට යෙහෝවාත් එක්ක තියෙන ඔයාගේ බැඳීම ගැන හිතන්න. එහෙම කළොත් ඔයාගේ හිත හයිය කරගන්න ඔයාට පුළුවන්.—ගීතා. 62:2; එෆී. 6:10.

යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා සහනය ලබාගත්ත ස්ත්‍රීන්ගේ ආදර්ශ බයිබලේ ඕන තරම් තියෙනවා. ඒවා කියවලා ඒ ගැන හොඳට හිතන්න. ඒ අද්දැකීම් දිහා බලද්දී ඔයාට තේරෙයි යෙහෝවා හැම තිස්සේම එයාලාගේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අයින් කළේ නැහැ කියලා. හැබැයි ඒවාත් එක්ක හැප්පෙන්න ඔහු එයාලට උදව් කළා. උදාහරණෙකට හන්නා ගැන හිතන්න. ප්‍රශ්න නිසා එයා ගොඩක් දුකින් හිටියේ. එයා දැනන් හිටියේ නැහැ දෙවියන් එයාගේ ප්‍රශ්නවලට මොන වගේ විසඳුමක් දෙයිද කියලා. හැබැයි එයා එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම කියලා ‘ගොඩක් වෙලා යෙහෝවා දෙවි ඉස්සරහා යාච්ඤා කළා.’—1 සාමු. 1:10, 12, 18; 2 කොරි. 1:3, 4.

සැමියාටයි, බිරිඳටයි වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්නත් වෙයි

වැඩිමහල්ලන්ගෙනුත් උදව් ගන්න ඔයාට පුළුවන්. මොකද එයාලා ඔයාට “සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වෙනවා.” (යෙසා. 32:2) සමහරවිට එයාලා සභාවේ සහෝදරියකගේ නම කියලා ඔයාට කියයි “එයාට ඔයාගේ ප්‍රශ්නේ ගැන කියන්න, එයා ඔයාට උදව් කරයි” කියලා.—හිතෝ. 17:17.

ඔයාට පුළුවන්ද උදව් කරන්න?

කාමුක දර්ශන කියන මේ භයානක රකුසාගෙන් ඔයාගේ මහත්තයාව බේරගන්න ඔයාට පුළුවන්ද? ඔව්, සමහරවිට. මොකද බයිබලෙත් කියනවා ප්‍රශ්නයක් විසඳගන්න, බලවත් සතුරෙක් එක්ක සටන් කරන්න “එක් කෙනෙක්ට වඩා දෙන්නෙක්ට” ලේසියි කියලා. (දේශ. 4:9-12) අධ්‍යයනවලිනුත් පෙන්නන විදිහට හුඟක් වෙලාවට සැමියායි, බිරිඳයි දෙන්නාම එකතු වෙලා විසඳුමක් හොයද්දී මේ වගේ නරක පුරුද්දකින් ගැලවෙන්න ලේසියි. ඒ වගේම තමයි දෙන්නා අතර දෙදරලා ගිය විශ්වාසේ ආයෙත් ශක්තිමත් කරගන්නත් ලේසියි.

හැබැයි එහෙම කරන්න නම් ඒ පුරුද්දෙන් ගොඩ එන්න සැමියාත් එයාගේ පැත්තෙන් පියවර ගන්න ඕනේ. එයා මේ පුරුද්ද අත්හරින්න දෙවියන්ට කන්නලව් කරලා උදව් ඉල්ලනවාද? එයා වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්නවාද? (2 කොරි. 4:7; යාකො. 5:14, 15) වැරදි ආශාවන්ට අහුවෙන්න පුළුවන් හැම දේකින්ම වැළකිලා ඉන්න එයා පියවර අරන් තියෙනවාද? උදාහරණෙකට ෆෝන් ටැබ් වගේ දේවල් සීමාවක් ඇතුව පාවිච්චි කරන්න, වරදකට වැටෙන්න වැඩි ඉඩකඩක් තියෙන අවස්ථා මඟ හරින්න එයා උත්සාහ කරනවාද? (හිතෝ. 27:12) එයා ඔයාගේ උදව් පිළි අරන් කිසිම දෙයක් හංගන්නේ නැතුව ඇත්ත කියන්න ලෑස්තිද? එහෙමනම් ඔයාට පුළුවන් වෙයි එයාට උදව් කරන්න.

ඒත් කොහොමද ඒක කරන්නේ? උදාහරණයක් බලමු. ෆිලීෂියා කසාද බැන්දේ ඊතන්ව. ඊතන් කියන්නේ පුංචි කාලෙම කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වුණ කෙනෙක්. බලන්න ඊතන් කියන දේ. “මං අවංක වෙලා මගේ හිතේ තිබුණ හැම දෙයක්ම නෝනාට කිව්වා. මේ ජරා පුරුද්ද අත්හරින්න එක එක සීමා දාගන්න එයා මට උදව් කරනවා. සීමාවක් ඇතුව ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නත් එයා මට උදව් කරනවා. ඒ වගේම හැම දවසකම මට දැනෙන්නේ කොහොමද කියලත් එයා හොයලා බලනවා.” ඒ අද්දැකීමෙන් පැහැදිලියි ඊතන්ට දැනෙන හැම දෙයක්ම නිදහසේ කියන්න ෆිලීෂියා ගෙදර හොඳ වාතාවරණයක් ඇති කරලා තිබුණා කියලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඊතන් කරපු දේවල් එයාට බලපෑවේ නැහැ කියලා. ෆිලීෂියාට ඒ දේවල් නිසා වේදනාවක් දැනුණා. හැබැයි බලන්න එයා කියන දේ. “මං දුක් වුණා, කේන්ති ගත්තා කියලා එයාට ඒ පුරුද්දෙන් ගොඩ එන්න ඒක උදව් වෙන්නේ නැහැනේ. ඒ නිසා මගේ දුක පැත්තකින් තියලා මං මුලින්ම ඉවසීමෙන් එයාට උදව් කළා. අපි මේ ප්‍රශ්නේ ගැන සන්සුන්ව කතා කළාට පස්සේ මගේ වේදනාව තුනී කරගන්නත් එයා මට උදව් කරනවා.”

ඒ වගේ සුහද කතාබහක් කාමුක දර්ශන බලන එක අත්හරින්න සැමියාට උදව් වෙයි. ඒ වගේම සැමියා ගැන තියෙන විශ්වාසය ආයෙත් ගොඩනඟාගන්න ඒක බිරිඳටත් උදව් වෙයි. හැබැයි තමන්ගේ දුර්වලකම ගැන බිරිඳට කියනවාට අමතරව සැමියෙක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. එයා එදිනෙදා සාමාන්‍යයෙන් කරන දේවල්, යන එන තැන් වගේ හැම පුංචි දෙයක් ගැනම බිරිඳට හංගන්නේ නැතුව කියන එකත් හරිම වැදගත්.

මේ යෝජනා අදාළ කරගත්තොත් සැමියාට උදව් කරන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් දෙන්නාත් එක්ක එකතු වෙලා මේ ලිපිය සාකච්ඡා කරන්න. මොකද ඔයාගේ සැමියාටත් ඕනෙ කොහොමහරි මේ පුරුද්දෙන් මිදිලා ඔයාගේ විශ්වාසේ ආයෙත් දිනාගන්න වෙන්න ඇති. ඒ නිසා දිගටම එයාට උදව් කරලා නැති වුණ විශ්වාසේ ආයෙත් ඇති කරගන්න එයාට තව අවස්ථාවක් දෙන්න. අනිත් අතට සැමියාත් උත්සාහ කරන්න ඕනෙ ඔයා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකොට, කේන්ති ගන්නේ නැතුව ඔයාට හැඟෙන විදිහ තේරුම්ගන්න. ඉතින් ඔය දෙන්නාම එකතු වෙලා කෙනෙක් කාමුක දර්ශන බලන්න පෙලඹෙන්නේ ඇයි සහ ඒකෙන් ගොඩ එන්න මොනවාද කරන්න පුළුවන් කියලා කතා කරන එක හරිම වැදගත්. d

මේ කාරණය ගැන කතා කරන්න ගියොත් ලොකු රණ්ඩුවකින් කෙළවර වෙයිද? එහෙම හිතෙනවා නම් ටික දවසක් යන කල් ඔය දෙන්නාටම හිතවත් වැඩිමහල්ලෙක්ට ඔයාලා කතා කරද්දී එන්න කියන්න. කාලයක් ගියාම ඔයාගේ සැමියා ඒ නරක පුරුද්දෙන් ගොඩ ආවත් ඔයාලා දෙන්නා අතර තිබුණ විශ්වාසේ ගොඩනඟන්න නම් ඊටත් වඩා කාලයක් යයි. හැබැයි අත්හරින්න එපා. පුංචි පුංචි දේවල්වලින් පවා දෙන්නා අතර තිබුණ බැඳීම ශක්තිමත් වෙන විදිහ දකින්න උත්සාහ කරන්න. කාලයත් එක්කම ඉවසීමේ ප්‍රතිඵලයක් විදිහට ඔයාගේ පුංචි කැදැල්ල ආයෙත් ලස්සන තැනක් වෙයි.—දේශ. 7:8; 1 කොරි. 13:4.

ආයෙත් ඒ වරදම කළොත්?

කාලයක් ගියාට පස්සේ ඔයාගේ සැමියා ආයෙත් ඒ නරක පුරුද්දට වැටුණොත්? ඒ කියන්නේ එයා පසුතැවිලි වෙලා නැහැ කියන එකද? එයාට කවදාවත් ඒකෙන් ගොඩ ඒමක් නැද්ද? එහෙම හිතන්න එපා. මොකද කාලයක් තිස්සේ යම් දේකට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්ට ඒක නතර කරන්න සමහරවිට එයා මැරෙන කල්ම සටන් කරන්න වෙයි. ඒ නිසා අවුරුදු ගාණක් ගියාට පස්සෙත් එයා ඒ පුරුද්දට වැටෙන්න පුළුවන්. එහෙම නොවී ඉන්න නම් එයා එයාටම දැඩි සීමා තහංචි දාගන්න ඕනේ. සමහරවිට එයා ඒ පුරුද්දෙන් ගොඩ ආවා කියලා හිතුණත් දිගටම ඒ සීමා තහංචිවලට අනුව ජීවත් වෙන්නත් එයාට සිද්ධ වෙයි. (හිතෝ. 28:14; මතෙ. 5:29; 1 කොරි. 10:12) ඒකට එයා “අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වෙන්නත්” “නපුරට ද්වේෂ කරන්නත්” ඉගෙනගන්න ඕනේ. එතන නපුර කියන්නේ කාමුක දර්ශන බලන එක විතරක් නෙවෙයි. ඒකට ස්වයංවින්දනය වගේ අපවිත්‍ර පුරුදුත් ඇතුළත්. (එෆී. 4:23; ගීතා. 97:10; රෝම 12:9) ඔයාගේ සැමියාත් ඒ වගේ දේවල්වලින් ඈත් වෙලා ඉන්න ලොකු වෑයමක් දරනවා කියලා ඔයාට පේනවාද? එහෙමනම් එයා ගැන තියෙන බලාපොරොත්තු අත්හැරගන්න ඔයාට කිසිම හේතුවක් නැහැ. මොකද එයා ඒ පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම මිදෙන දවසක් එයි. e

යෙහෝවා එක්ක තියෙන බැඳීමට මුල් තැන දෙන්න

හැබැයි මේ වළෙන් ගොඩ එන්න මහත්තයාට කිසිම වුවමනාවක් නැහැ කියලා ඔයාට දැනෙනවා නම් මොකද කරන්නේ? ඇත්ත, ඒ වගේ වෙලාවට ලොකු කලකිරීමක්, දුකක් දැනෙන්න පුළුවන්. එයා ඔයාට ද්‍රෝහි වුණා කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ඒ ගැනම හිතහිත ඉන්නේ නැතුව ඔයාගේ හැම බරක්ම යෙහෝවාට විසි කරන්න. (1 පේතෘ. 5:7) අධ්‍යයනයෙන්, යාච්ඤාවෙන්, ගැඹුරින් හිතන එකෙන් දෙවියන්ට පුළුවන් තරම් ළං වෙන්න. එහෙම කරද්දී ඔහු ඔයාටත් ළං වෙනවා කියලා පොරොන්දු වෙනවා. යෙසායා 57:15 කියන විදිහට යෙහෝවා ‘පීඩාවට පත් වුණ අසරණයන්ගේ’ ළඟින් හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ජීවිතෙන් වියැකිලා ගිය ඒ සතුට ආයෙත් ළං කරන්න ඔහු හැම දේම කරනවා. ඒ නිසා යෙහෝවා ඉස්සරහා නියම ක්‍රිස්තියානියෙක් වෙන්න ඔයාගේ පැත්තෙන් පුළුවන් හැම දේම කරන්න. වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න. මොන දේ වුණත් බලාපොරොත්තු අත්හරින්නත් එපා. මොකද ඔයාගේ සැමියා දවසක ජීවිතේම වෙනස් කරගෙන ඒ පුරුද්ද සම්පූර්ණයෙන්ම අත්හරියිද කියලා කවුද දන්නේ?—රෝම 2:4; 2 පේතෘ. 3:9.

a මේ ලිපියේ අසභ්‍ය දර්ශන බලන කෙනා විදිහට සඳහන් කරලා තියෙන්නේ සැමියාව. හැබැයි බිරිඳක් ඒ වගේ දෙයක් කරනවා නම් මේකේ තියෙන ප්‍රතිපත්ති ඒ වගේ සැමියෙක්ටත් උදව් වෙනවා.

b කාමුක දර්ශන බලන එක ශුද්ධ ලියවිල්ලට අනුව දික්කසාද වෙන්න පදනමක් නෙවෙයි.—මතෙ. 19:9.

c සමහර නම් වෙනස් කර ඇත.

d ඔයාට උදව් වෙන හුඟක් තොරතුරු jw.org වෙබ් අඩවියෙන් සහ අපේ ප්‍රකාශනවලින් හොයාගන්න පුළුවන්. උදාහරණෙකට jw.org වෙබ් අඩවියේ තියෙන “විවාහ ජීවිත කුඩුපට්ටම් කරන කාමුක දර්ශන” කියන ලිපිය, 2014 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ 10-12 පිටුවල තියෙන “වැරදි පෙලඹීම් පාලනය කරගන්න ඔබට පුළුවන්” කියන ලිපිය සහ 2013 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 3-7 පිටුවල තියෙන “අන්ත්‍රාවයි පරිහරණය කළොත් විනාසයි” කියන ලිපිය.

e කාමුක දර්ශන ගොඩක් ඇබ්බැහි කරවනසුලු දෙයක් නිසා සමහර යුවළයන් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්නවාට අමතරව වෛද්‍ය උපදෙස් ගන්නත් තීරණය කරලා තියෙනවා.