Skip to content

පටුනට යන්න

වතුරෙන් ගින්නක් නිවන්න පුළුවන් වගේ සමාව දෙන එකෙන් ප්‍රශ්නයක් දුර දිග යන එක වළක්වගන්න පුළුවන්

සැමියාට සහ බිරිඳට

4: සමාව දෙන්න

4: සමාව දෙන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

සමාව දෙන කෙනෙක් තව කෙනෙක් කරපු වරදක් මතකයේ තියන් ඉන්නේ නැහැ. ඒ ගැන අමනාපයෙන් ඉන්නෙත් නැහැ. හැබැයි කරපු දේ හරියි කියන එකවත් වරදක් වුණේ නැහැ වගේ ඉන්න එකවත් නෙවෙයි ඒකෙන් අදහස් කරන්නේ.

බයිබල් ප්‍රතිපත්තිය: “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”—කොලොස්සි 3:13.

“ඔයා කෙනෙක්ට ඇත්තටම ආදරෙයි නම් වැඩි අවධානයක් දෙන්නේ එයා අතින් වෙන අඩුපාඩුවලට නෙමෙයි, අඩුපාඩු හදාගන්න එයා දරන වෑයමටයි.”—ඒරන්.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

අමනාපයක් හිතේ තියන් ඉද්දී ලෙඩ වෙන්නත් මානසිකව වැටෙන්නත් පුළුවන්. ඒකෙන් විවාහ බැඳීමටත් හානියක් වෙනවා.

“දවසක් මගේ මහත්තයා කරපු දෙයක් නිසා මගේ හිත හොඳටම පෑරුණා. එයා මගෙන් සමාව ඉල්ලුවත් එයාට සමාව දෙන්න මට ටික කාලයක් ගියා. ඒකෙන් වුණේ අපි දෙන්නා ටිකක් ඈත් වුණු එක විතරයි. අපරාදේ මං සමාව දෙන්න කල් ගත්තේ.”—ජූලියා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මේ ගැන හිතන්න

ඊළඟ වතාවේ ඔයාගේ සැමියා/බිරිඳ කියපු කරපු දෙයක් නිසා ඔයාගේ හිත රිදුණොත් මෙහෙම හිතන්න.

  • ‘හිත රිද්දගන්න ඒක හේතුවක්ද?’

  • ‘සමාව ඉල්ලන්න තරම් එයා ලොකු වරදක් කරලා තියෙනවාද? මට ඒක අමතක කරලා දාන්න පුළුවන්ද?’

දෙන්නා එකතු වෙලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න

  • එකිනෙකාට සමාව දෙන්න අපි කොච්චර කාලයක් ගන්නවාද?

  • ඉක්මනින්ම සමාව දෙන පුරුද්ද ඇති කරගන්න අපිට පුළුවන් කොහොමද?

යෝජනා

  • සැමියා/බිරිඳ කරපු දෙයක් නිසා හිතේ අමනාපයක් ඇති වුණොත් එයා ඒක කළේ නරක චේතනාවෙන් කියලා හිතන්න එපා.

  • හැම කෙනෙක් අතින්ම ‘වැරදි සිද්ධ වෙනවා’ කියලා මතක තියාගෙන සැමියා/බිරිඳ අතින් වරදක් වෙද්දී සමාව දෙන්න.—යාකොබ් 3:2.

“වෙච්ච වරදකට දෙන්නාම වග කියන්න ඕනෙ නම් සමාව දෙන්න ලේසියි. ඒත් අනිත් කෙනා අතින් විතරක් වරදක් වෙලා තියෙද්දී සමාව දෙන එක ලේසි නැහැ. ඒකට නිහතමානිකම තියෙන්නම ඕනේ.”—කිම්බලි.

බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රශ්නය ඉක්මනින් නිරවුල් කරගන්න.”—මතෙව් 5:25.

අමනාපයක් හිතේ තියන් ඉද්දී ලෙඩ වෙන්නත් මානසිකව වැටෙන්නත් පුළුවන්. ඒකෙන් විවාහ බැඳීමටත් හානියක් වෙනවා