Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

සියුම් වුණත් ශක්තිමත්

සියුම් වුණත් ශක්තිමත්

කූඹි උන්ගේ ශරීරයට වඩා කිහිප ගුණයක්ම බර දේවල් උස්සන විදිහ ගැන ඉන්ජිනේරුවන් පුදුම වෙනවා. උන්ගේ ශරීරයේ සැකැස්ම, ශරීර ලක්ෂණ සහ අවයව ක්‍රියාත්මක වන විදිහ ගැන ඔහයෝ විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවන් පිරිසක් පර්යේෂණ කළා. එක්ස් කිරණ ආධාරයෙන් (micro CT scans) කූඹියාගේ ශරීරයට හැම අතින්ම සමාන පරිගණක රූපයක් එයාලා නිර්මාණය කළා. කූඹියෙක් දෙයක් උස්සද්දී උගේ ශරීරය ඒ සඳහා කොයි තරම් ශක්තියක් යොදවනවද කියලා තේරුම්ගන්න ඒ රූපය උදව් වුණා.

කූඹියා කටින් උස්සන දේවල්වල සම්පූර්ණ බර වැටෙන්නේ බෙල්ලට නිසා බෙල්ල උගේ ශරීරයේ හුඟක් වැදගත් කොටසක්. බෙල්ලේ තියෙන සියුම් පටක ගනකම් පිටත පෘෂ්ඨයක් සහිත උගේ ශරීරයටයි ඔළුවටයි තදින්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒක හරියට අපි අත් දෙකේ ඇඟිලි එකිනෙක අතරින් යවලා තදින් අල්ලගෙන ඉන්නවා වගෙයි. ඒ ගැන පර්යේෂකයෙක් මෙහෙම කිව්වා. “කූඹින්ගේ බෙල්ල සකස් වෙලා තියෙන්නේ අරුම පුදුම විදිහට. උන්ගේ බෙල්ලට එතරම් ලොකු ශක්තියක් ලැබිලා තියෙන්නේ ගනකම් පිටත පෘෂ්ඨය සහ බෙල්ලේ සියුම් පටක හොඳින් සම්බන්ධ වෙලා තියෙන නිසා වෙන්න ඕනේ. ශරීරයටත් වඩා ලොකු බරක් උස්සන්න තරම් ශක්තියක් උන්ට ලැබෙන්න ප්‍රධානම හේතුවත් ඒක වෙන්න පුළුවන්.” කූඹින්ගේ බෙල්ල ක්‍රියාත්මක වන විදිහ ගැන හොඳින් තේරුම්ගත්තොත් අනාගතයේදී තවත් ප්‍රයෝජනවත් විදිහට රොබෝ යන්ත්‍ර හදන්න ඒක උදව් වෙයි කියලා පර්යේෂකයන් හිතනවා.

ඔයාගේ නිගමනය මොකක්ද? සියුම් වුණත් ලොකු බරක් උස්සන්න පුළුවන් විදිහට කූඹියාගේ බෙල්ල හැදුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කළ නිසාද?