Skip to content

ජර්මනියේ ජංගම පුවරුත් නිවාඩුවකට ගියා

ජර්මනියේ ජංගම පුවරුත් නිවාඩුවකට ගියා

ලොව වටා තියෙන ප්‍රධාන නගරවල ඇවිදගෙන යන අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන තියෙන ජංගම පුවරු හුරු පුරුදු දසුණක්. උදාහරණයකට ජර්මනියේ බර්ලින්, කොලෝන්, හැම්බර්ග්, මියුනිච් සහ වෙනත් ජනාකීර්ණ නගරවල, සාක්ෂිකරුවන් ඒ පුවරු ප්‍රදර්ශනය කරනවා.

ඒත් ජර්මනියේ වැසියන් නිවාඩු ගත කරන්න යන කුඩා ගම්වලත් මිනිසුන්ගේ සිත් ඇදගන්න ඒ පුවරුවලට හැකි වෙයිද? උතුරු ජර්මනියේ තියෙන ඒ වගේ ගම්වල සහ වෙරළ ආසන්න ප්‍රදේශවල වගේම බෝල්ටික් සාගරයේ සහ උතුරු සාගරයේ දූපත්වල ඉන්න වැසියන් ඒකට කැමති වෙයිද? ඒක දැනගන්න 2016දී මධ්‍යම යුරෝපයේ තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් විශේෂ වැඩසටහනක් සැලසුම් කළා. විශාල නගරවල සාක්ෂි දැරිමට පුවරු පාවිච්චි කරන සාක්ෂිකරුවන් 800දෙනෙක් විතර මැයි මාසයේ ඉඳලා ඔක්තෝබර් මාසය දක්වා උතුරු ජර්මනියේ ස්ථාන 60ක විතර ඒ සේවයේ යෙදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඔස්ට්‍රියාවේ වියානා වගේ ගොඩක් ඈත ප්‍රදේශවලින් ආපු අයත් ඒ අතර හිටියා.

“අපිව සැලකුවෙත් ඒ ගමේ අය හැටියටයි”

සාක්ෂිකරුවන්ට හොඳ පිළිගැනීමක් ලැබුණා. “මිනිස්සු අපේ පණිවුඩය ගැන ගොඩක් උනන්දු වුණා. එයාලා හරි මිත්‍රශීලියි. දේවල් දැනගන්නත් කැමති වුණා” කියලා එක ස්වේච්ඡා සේවකයෙක් කිව්වා. ප්ලෝන් කියන නගරයට ගිය හයිඩි මෙහෙම කියනවා. “ටික දවසක් ගියාට පස්සේ එයාලා අපිව සැලකුවෙත් ඒ ගමේ අය හැටියටයි. සමහර අය අපිව දැක්කාම අත වනලත් ගියා.” බිහිරි කෙනෙක් එයාගේ යාළුවෝ කට්ටියකුත් එක්ක නිරිතදිග ජර්මනියේ බිහිරි අයට තිබුණ වැඩසටහනකට සහභාගි වෙලා එද්දී සාක්ෂිකරුවන්ව දැකලා, “ඔයාලා හැම තැනම ඉන්නවානේ” කියලා එයා සංඥා භාෂාවෙන් අපිට කිව්වා.

ඒ පැතිවල අය අපිට උදව් කරන්නත් ඉදිරිපත් වුණා. වංගරූග් කියන දූපතේ, පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කට්ටිය වැඩියෙන් ඉන්න තැන් කිහිපයත් යෝජනා කළා. වොරන් උන් ඩර් ම්‍යූරිට්ස්වල සංචාරක බෝට්ටුවක නියමුවා එයාගේ බෝට්ටුවේ හිටපු අයට විශේෂ තැන් සමහරක් පෙන්න පෙන්න හිටියා. වරායේ අපේ පොත් පත් තිබුණ පුවරුවක් පෙන්නලා එයා මෙහෙම කිව්වා. “ඔයාලා එතන්ට ගියොත් දෙවියන් ගැන දැනගන්න පුළුවන්.” ඒ සංචාරකයන්ගෙන් කිහිපදෙනෙක් ඇවිල්ලා පුවරුවල තිබුණ පෝස්ටර් කියවලා බැලුවා.

සංචාරකයන් වගේම ඒ පැතිවල ඉන්න අය මේ සඟරා තුන ගොඩක් අගය කළා:

  • ‘අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද’ සංචාරකයෙක් මෙහෙම කිව්වා. “මං කාලයක් තිස්සේ ඒ ප්‍රශ්නය ගැන කල්පනා කරලා තියෙනවා. අන්තිමට මේ නිවාඩු කාලේ ඒ ගැන ටිකක් කියවන්න මට අවස්ථාවක් ලැබෙයි.”

  • ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ මහලු කෙනෙක් සාක්ෂිකරුවන්ට කිව්වා එයා ආගම් ගැන කලකිරිලා ඉන්නේ කියලා. අපේ ප්‍රශ්න ගැටලු විසඳන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා සාක්ෂිකරුවන් එයාට තේරුම් කරලා දුන්නාම එයා සඟරාවක් අරගෙන ඒක කියවන්න පොරොන්දු වුණා.

  • ‘පුංචි අපිට පාඩම්.’ පුංචි දරුවන්ට විශේෂයෙන් සකස් කරලා තියෙන මේ සඟරාවේ පිටපතක් ගන්න තාත්තා කෙනෙක් එයාගේ පුංචි දුවට අවසර දුන්නා. ඒ වගේම එයා ‘මගේ බයිබල් කතන්දර පොතකුත්’ අරන් “මේක මගේ දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි” කියලා කිව්වා.

ජංගම පුවරු පහු කරගෙන ගිය අය ප්‍රකාශන 3,600කට වැඩියෙන් අරගත්තා. තව දැනගන්න කැමති වුණ අය, සාක්ෂිකරුවන්ට තමන්ගේ නිවෙස්වලට එන්නත් කිව්වා.

ඒ වැඩසටහනට සහභාගි වුණ අයට ඒකෙන් ලොකු සතුටක් ලැබුණා. ජෝජ් සහ එයාගේ බිරිඳ මරීනා බෝල්ටික් මුහුද අසල ප්‍රදේශයක සේවය කළා. “දෙවිගේ ලස්සන නිර්මාණ දැකලා සතුටු වෙන්නත් අනිත් අයත් එක්ක දෙවි ගැන කතා කරන්නත් අපිට අවස්ථාවක් ලැබුණා. ඒක හරියට දෙවිගෙන් ලැබුණ විශේෂ තෑග්ගක් වගේ” කියලා එයාලා කියනවා. අවුරුදු 17ක් වයස ලූකස් මෙහෙම කියනවා. “මට විනෝද වෙන්න වගේම වටිනා යමක් අනිත් අයට දෙන්න අවස්ථාවත් ලැබුණා. ඒක නියමයි!”