Skip to content

වෝල්කිල්වල පින්තූර 2 (2014 නොවැම්බර් සිට 2015 නොවැම්බර් දක්වා)

වෝල්කිල්වල පින්තූර 2 (2014 නොවැම්බර් සිට 2015 නොවැම්බර් දක්වා)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිව් යෝර්ක්, වෝල්කිල්වල තියෙන ගොඩනැඟිලි සංකීර්ණය පුළුල් කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තා. මේ පින්තූරවලින් පෙන්වන්නේ 2014 නොවැම්බර් සිට 2015 නොවැම්බර් දක්වා සිද්ධ වුණ වැඩකටයුතුයි.

2015 ඔක්තෝබර් 15 වෙනිදා වෝල්කිල් ගොඩනැඟිලි සංකීර්ණයේ පින්තූරයක්.

  1. මුද්‍රණාලය

  2. කාර්යාල ගොඩනැඟිල්ල අංක 1

  3. E නේවාසික ගොඩනැඟිල්ල

  4. කෑම කාමරය

  5. ලොන්ඩ්‍රිය සහ ඩ්‍රයි ක්ලීන් කරන තැන

  6. කාර්යාල ගොඩනැඟිල්ල අංක 2

  7. D නේවාසික ගොඩනැඟිල්ල

2014 දෙසැම්බර් 4 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 2

අලුත් කාර්යාල ගොඩනැඟිල්ලේ පිවිසුම් මාර්ගය සකස් කරන ආකාරයයි මේ. වම් පැත්තේ පහළ තියෙන පදික මාර්ගය ශීත සෘතුවේදී අයිස් බැඳෙන එක වළක්වන්න හීට් කරනවා. බෙතෙල් කාර්යාලය, ශාඛා කමිටු කාර්යාලය සහ සේවා අංශය තියෙන්නේ මේ ගොඩනැඟිල්ලේ.

2014 දෙසැම්බර් 5 - D නේවාසික ගොඩනැඟිල්ල

නිම කළ බිම සවි කිරීමට කලින් ග්‍රයින්ඩරයකින් පොළොව මට්ටම් කරන ගෘහ අලංකාර අංශයේ සාමාජිකයෙක්. දූවිලි පැතිරීම අවම කිරීමට ඒ ග්‍රයින්ඩරයට වැකියුම් එකක් සවි කරලා තියෙනවා.

2015 ජනවාරි 9 - E නේවාසික ගොඩනැඟිල්ල

ආගන්තුකයන් සහ E නේවාසික ගොඩනැඟිල්ලේ නතර වෙලා ඉන්න බෙතෙල් සාමාජිකයන් 200ක් පමණ දෙනා සංකීර්ණයට ආපු ගමන්ම පිවිසෙන්නේ අලුත්වැඩියා කරපු මේ කවාකාර පිවිසුම් ශාලාවට. මේ ගොඩනැඟිල්ලේ විදුලි භාවිතය අවම කරන්න ජනෙල් සහ ගින්නකදී අනතුරු අඟවන නවීනතම එලාම් පද්ධතියක් සවි කරලා තියෙනවා.

2015 පෙබරවාරි 9 - මුද්‍රණාලය

අලුත් කාර්මික පුහුණු ගොඩනැඟිල්ලට දුරකථන පහසුකම් සවි කරන කාර්මිකයෙක්.මේ අංශය තියෙන්නේ මෙහි වැඩ කරන අයට ජල නළ සවි කිරීම, විදුලිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පුහුණුව සැපයීමටයි.

2015 පෙබරවාරි 17 - මුද්‍රණාලය

කාර්මික පුහුණු ගොඩනැඟිල්ලට LED විදුලි බුබුළු සවි කරන විදුලි කාර්මිකයෙක්.

2015 මාර්තු 2 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 1

විදුලි රැහැන් යවන බට අතර ඉඩ ප්‍රමාණය නිවැරදිද කියලා පරීක්ෂා කරන සහෝදරියක්. ගොඩනැඟිල්ලේ මේ කොටස අලුත්වැඩියා කළේ බෘක්ලින් ඉඳලා වෝල්කිල්වලට ගෙනාපු ශාඛා කාර්යාල අංශවලට ඉඩ සැලසීමටයි.

2015 මාර්තු 3 - D නේවාසික ගොඩනැඟිල්ල

ජල නළ සවි කරන්නෙක් වෙනත් තැනක සවි කිරීමට උණු වතුර පයිප්ප පාස්සනවා.

2015 මාර්තු 31 - D නේවාසික ගොඩනැඟිල්ල

බාහිර අලංකාර අංශය ජනේලයක් සවි කරනවා. මේ ජනෙල් නිසා ශීත සෘතුවේ වගේම ගිම්හාන සෘතුවේ විදුලි භාවිතය අවම වෙනවා. මේ ගොඩනැඟිල්ලට විතරක් ඒ වගේ ජනෙල් 298ක් සවි කරලා තියෙනවා.

2015 අප්‍රියෙල් 17 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 1

1970ගණන්වල හදපු තාප්පයකින් ගලවාගත්ත ගල් පාවිච්චි කරලා කාර්යාල ගොඩනැඟිල්ල අංක 1 සහ E නේවාසික ගොඩනැඟිල්ල අතර තියෙන රථ ගාලේ බිත්තියක් හදන මේසන් වැඩ කරුවන්.

2015 අප්‍රියෙල් 17 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 1

තීන්ත ගෑමට කලින් බිත්තියක් මදින කෙනෙක්. අලුත්වැඩියා කරපු මේ ගොඩනැඟිල්ලේ ගිණුම්, පරිගණක සහ මිල දී ගැනීමේ අංශ පිහිටලා තියෙනවා.

2015 ජූනි 8 - D නේවාසික ගොඩනැඟිල්ල

වහලයේ තියෙන අකුණු සන්නායකයකට සම්බන්ධ කරන්න වයර් අදින විදුලි කාර්මිකයෙක්. ඒකට ඇදෙන අකුණු සැර වයර් දිගේ පොළොවට ගලාගෙන යයි. එමගින් ගොඩනැඟිල්ල ආරක්ෂා වෙයි.

2015 ජූනි 8 - D නේවාසික ගොඩනැඟිල්ල

වෝල්කිල් සංකීර්ණය පුළුල් කිරීමේදී අවට තියෙන ගස් විශාල ප්‍රමාණයක් වගේම පරිසරයේ සුන්දරත්වය ඒ විදිහටම ආරක්ෂා කිරීමට සෑහෙන වෑයමක් දැරුවා. වම් පැත්තේ තියෙන වතුර ටැංකියේ ධාරිතාව ලීටර් 1,50,000ක්. වෝල්කිල් සංකීර්ණයට අවශ්‍ය වතුර, ගින්දර පැතිරීම මැඩපැවැත්වීමට සහ හදිසි ගිනි නිවීමට අවශ්‍ය වතුර මූලිකවම ලැබෙන්නේ මේ ටැංකියෙන්.

2015 ජූනි 25 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 1

ශ්‍රවණාගාරයේ පිටුපස බිත්තියට ලී කුට්ටි සවි කරන වඩුවෙක්. චෙරි ගසේ ලීවලින් හදපු මේ වගේ කුට්ටි 1,800ක් විතර මේ බිත්තියට සවි කරනවා. කුට්ටිවල ගනකම එකිනෙකට වෙනස් නිසා ශ්‍රවණාගාරයේ දෝංකාරය වළක්වනවා.

2015 ජූලි 9 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 2

1958දී බෙතෙල් එකේ සේවය කරන්න ආපු චාල්ස් රීඩ්. බෘක්ලින් බෙතෙල් එකෙන් පොත් පත්, සඟරා මුද්‍රණය කරපු කාලේ ඇමරිකාවට වගේම වෙනත් රටවල් ගණනාවකට මුද්‍රණ යන්ත්‍ර තියන්න කොන්ක්‍රීට් පුවරු නිර්මාණය කරලා ඒවා හදන්න සහෝදර රීඩ් උදව් කළා. වෝල්කිල් සංකීර්ණය පුළුල් කරපු අවස්ථාවේදී සහෝදර රීඩ් තත්ව පාලන කණ්ඩායමේ වැඩ කළා.

2015 අගෝස්තු 17 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 1

සේවකයන් ශ්‍රවණාගාරයට අවශ්‍ය අලුත් පුටු බානවා. මෙහි 812දෙනෙක්ට ආසන තියෙනවා.

2015 සැප්තැම්බර් 21 - කාර්යාල ගොඩනැඟිල්ල අංක 1

ශ්‍රවණාගාරය අලුත්වැඩියා කරද්දී වීඩියෝ ස්ක්‍රීන් වගේම ශබ්දය පාලනය කරන විශේෂ සිවිලිමක්ද සවි කළා.

2015 ඔක්තෝබර් 12 - D නේවාසික ගොඩනැඟිල්ල

සාත්තු නිවාසයේ හෙදියන් ඉන්න ස්ථානය. රෝගීන්ගේ පහසුව වෙනුවෙන් කොරිඩෝත් කාමරවල තියෙන නාන කාමරත් විශාල කළා.

2015 ඔක්තෝබර් 15 - වෝල්කිල්වල ගොඩනැඟිලි සංකීර්ණය

බෙතෙල් පවුලේ සාමාජිකයන් 2,000ක් විතර වෝල්කිල්වල නතර වෙලා ඉන්නවා. මෙහි වර්ග මීටර් 1,02,000ක පමණ ප්‍රදේශයක ගොඩනැඟිලි අලුතින් හැදුවා. එහෙමත් නැත්නම් අලුත්වැඩියා කළා. 2015 නොවැම්බර් 30වෙනිදා ඒ ව්‍යාපෘතියේ වැඩ අවසන් වුණා.