Skip to content

චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ වනජීවීන් ආරක්ෂා කිරීම

චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ වනජීවීන් ආරක්ෂා කිරීම

බ්‍රිතාන්‍යයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ අලුත් ශාඛා කාර්යාලය එසෙක්ස් ප්‍රාන්තයේ චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ ඉදි කරන්න පටන් ගත්තා. ඒ ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පිරුණ මනරම් පරිසරයකට හිමිකම් කියනවා. 1981දී නීතිගත කරපු වනජීවී සහ ගම්මාන පනත ඒ ප්‍රදේශයේ වෙසෙන වනජීවීන්ව ආරක්ෂා කරගන්නත් උදව් වෙලා තියෙනවා. තමන්ගේ ශාඛා කාර්යාලය ඉදි කරමින් සිටින සාක්ෂිකරුවන් ඒ පනතට කීකරු වෙලා වනජිවීන්ව ආරක්ෂා කරන්න යමක් කරලා තියෙනවාද?

මී පාලමක් හදනවා

ගොඩනැඟිලි ඉදි කරන ඉඩමේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පුංචි මී වර්ගයක් ඉන්නවා. ගස්වල සහ පඳුරුවල ගැවසෙන මේ මී වර්ගය හඳුන්වන්නේ හේසල් ඩෝමවුස් කියලා. වැඩබිමෙන් උන්ව වෙනත් තැනකට යවාගන්න සාක්ෂිකරුවන් මොකද කළේ? අහක දාන ලී කෑලිවලින් උන්ට පුංචි මී කූඩු හැදුවා. ඒ විතරක් නෙමෙයි වැඩ බිමට ඇතුල් වෙන්න හදපු අලුත් පාරට උඩින් විශේෂ මී පාලමකුත් හැදුවා. එහෙම කරපු නිසා මීයන්ට උන්හිටි තැන් අහිමි වුණත් සුපුරුදු පරිසරයේම ගැවසෙන්න උන්ට අවස්ථාව ලැබෙනවා. ඒ මීයන් වෙනුවෙන්ම උස ගස් සහිත පඳුරු වැටක් වවලා ඒක නඩත්තු කරන්නත් සාක්ෂිකරුවන් තීරණය කරලා තියෙනවා. ඒක කරන්නේ හැම අවුරුද්දේම ඩෝමවුස් මීයන් උන්ගේ ගුල්වලට වෙලා නිදාගන්න (ශිශිරතරණය කරන) කාලයේදීයි. ඒ කාලය තුළ ඒ පඳුරු වැටේ කොටසක් කපලා නඩත්තු කරනවා. ඒ විදිහට හැම අවුරුද්දේම මීයන්ට කරදරයක් නොවන විදිහට මාරුවෙන් මාරුවට පඳුරු වැට කපලා නඩත්තු කරනවා. එහෙම කරන්න තීරණය කළේ උන්ගේ ඒ වාසභූමිය තුළම ඇති තරම් ආහාර හොයාගන්න උන්ට පුළුවන් වෙන විදිහටයි.

මී කූඩු හදනවා

කටුස්සන්, ගැඩවිලන් වගේම විසකුරු නැති සර්ප වර්ගත් මේ ඉඩමේ ඉන්නවා. වැඩබිම උන්ට ආරක්ෂා සහිත නැති නිසා පරිසරයට ආදරය කරන මේ සාක්ෂිකරුවන් මොකද කළේ? උන්ට රිංගන්න පුළුවන් වෙන්න උළු කැබලි එක තැනක ගොඩ කෙරුවා. ඊට පස්සේ උන්ව එතනින් අරන් ගිහින් ආරක්ෂාව වැඩි තැනකට මුදාහැරියා. උරගයින් අවුරුද්දේ වැඩි කාලයක් නිදාගන්න (ශිශිරතරණය කරන) නිසා උන්ව අලුතෙන් මුදාහැරිය ප්‍රදේශයේ ඒ සඳහා සුදුසු තැන් සකස් කරලා තියෙනවා. උන් ආයෙත් වැඩබිම ප්‍රදේශයට ඇවිත් හානියක් වෙන්න පුළුවන් නිසා උන්ට එන්න බැරි වෙන්න වැටක් ගහලා තියෙනවා.

හේසල් ඩෝමවුස් වර්ගයේ මීයෙක්

ඒ පරිසරයේ කුඩා වවුල් විශේෂයකුත් ජීවත් වෙනවා. රාත්‍රි කාලයේදී ආහාර හොයාගන්නා උන් වෙනුවෙන් මොනවාද කළේ? හැකි තරම් රාත්‍රි අඳුර පවත්වාගන්න පුළුවන් වෙන විදිහට වැඩබිමට LED විදුලි බුබුළු පාවිච්චි කරන්න තීරණය කළා. වාහනයක් එනවා නම් විතරක් ස්වයංක්‍රීයව පත්තු වෙන විදිහට ඒ විදුලි බුබුළු සකස් කළා. වවුලන් වැඩබිම ආශ්‍රිත ගස්වලින් ආහාර හොයාගන්න නිසා ඒවායෙන් වැඩි හරියක් කපා ඉවත් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තව කිලෝමීටර් දෙකහමාරක් දුරට ගස් වවන්නත් අදහස් කරනවා. ගොඩනැඟිලි ඉදි කරන්න ඕනෙ නිසා වැඩබිමේ සමහර ගස් ඉවත් කරන්නම සිද්ධ වෙනවා. ඉතින් ඒකට හිලව්වක් විදිහට වවුලන්ට ලැගලා ඉන්න සාක්ෂිකරුවන් වවුල් පෙට්ටි හදලා ගස්වල එල්ලුවා.

වවුලන්ට ලගින්න පෙට්ටි එල්ලනවා

වටපිටාවේ තියෙන සමහර පැරණි වටිනා ගසුත් සාක්ෂිකරුවන් ආරක්ෂා කරනවා. ඒ ගස්වල මුල් විහිදී යන තැන්වලට උඩින් බර වාහනවලට යන්න නොදී ඒවා ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේ ගස් වවුලන්ට, කුරුල්ලන්ට සහ අපෘෂ්ඨවංශික ජීවීන්ට නිවහන් හා සමානයි. සාක්ෂිකරුවන් මේ හැම පියවරක්ම අරන් තියන්නේ චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ සිටින වනජීවීන්ව ආරක්ෂා කරගන්නයි.