Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

“සල්ලි පස්සේ දුවපු එකෙන් ඉතුරු වුණේ වේදනාව විතරයි”

“සල්ලි පස්සේ දුවපු එකෙන් ඉතුරු වුණේ වේදනාව විතරයි”
  • ඉපදුණ අවුරුද්ද: 1974

  • රට: ඇල්බේනියාව

  • අතීතයේදී: හොරකම් කරපු, මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු, හිරේ හිටපු කෙනෙක්

මගේ අතීතය

 මං ඉපදුණේ ඇල්බේනියාවේ අගනුවර වන ටිරාන්වල. අපි හරිම දුප්පත්. මගේ තාත්තා ගොඩක් අවංක කෙනෙක්. එයා අපිට කන්න, අඳින්න දෙන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඒ මොනවා වුණත් නැති බැරිකම්වලින් ගොඩ එන්න අපිට පුළුවන් වුණේ නෑ. පුංචි කාලේ මං හරියට බඩගින්නේ ඉඳලා තියෙනවා. මට දාන්න සපත්තු දෙකක්වත් තිබුණේ නෑ. දුප්පත් පවුලක ඉපදුණ එක ගැන මං හිටියේ හරිම දුකෙන්.

 පුංචි කාලේ ඉඳන්ම මං හොරකම් කරන්න පුරුදු වුණා. මං එහෙම කරන්නේ පවුලේ අයට උදව් කරන්නනේ. ඒ නිසා ඒකේ වරදක් නෑ කියලා මං හිතුවා. ඒත් දවසක් මාව පොලීසියට අහු වුණා. ඒ නිසා 1988දී ඒ කියන්නේ මට අවුරුදු 14දී තාත්තා මාව පුනරුත්ථාපන පාසැලකට යැව්වා. එහේ හිටපු අවුරුදු 2දී මං වෙල්ඩින් වැඩ ඉගෙනගත්තා. එහෙන් ආවාට පස්සේ මට ඕනෙ වුණේ අවංක කෙනෙක් විදිහට ජීවත් වෙන්න. ඒත් මට රස්සාවක් හම්බ වුණේ නෑ. මොකද ඒ කාලේ ඇල්බේනියාවේ දේශපාලනික ප්‍රශ්න තිබුණ නිසා හුඟක් අයට රස්සාවල් හොයාගන්න ලේසි වුණේ නෑ. හැම දෙයක්ම එපා වුණ නිසා මං ආයෙත් පරණ යාළුවොත් එක්ක එකතු වෙලා හොරකම් කරන්න පටන්ගත්තා. ටික කාලෙකට පස්සේ මාවයි, මගේ යාළුවන්වයි අත්අඩංගුවට අරං අවුරුදු 3කට හිරේට දැම්මා.

 හිරෙන් නිදහස් වුණාට පස්සේ මං ආයෙත් ඉස්සර කරපු දේවල්ම කරන්න පටන්ගත්තා. ඒ කාලෙදිත් ඇල්බේනියාවේ දේශපාලනික ප්‍රශ්න තිබුණ නිසා ආර්ථිකය බිංදුවටම වැටිලයි තිබුණේ. ඒ වගේ කාලෙකදි වුණත් මං නීති විරෝධී වැඩ කරලා ගොඩක් සල්ලි හෙව්වා. අපි කරපු ලොකු මංකොල්ලයක් නිසා මගේ යාළුවෝ දෙන්නෙක්ව අත්අඩංගුවට ගත්තා. මාවත් අහු වුණොත් අවුරුදු ගාණක් හිරේ ඉන්න වෙන නිසා මං රටෙන් පැනලා ගියා. ඒ වෙනකොටත් මං යූලින්ඩා එක්ක විවාහ වෙලයි හිටියේ. අපිට පුංචි පුතෙකුත් හිටියා. එතකොට එයාට මාස 6ක්වත් නෑ.

 අන්තිමට අපි නතර වුණේ එංගලන්තේ. මගේ නෝනායි, පුතායි එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න මට ඕනෙ වුණත් මගේ පරණ පුරුදු අත්හරින්න මට බැරි වුණා. මං ආයෙත් ඒ ජීවිතයටම වැටුණා. මේ පාර මං කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්. ඒ නිසා මට ඇති වෙන්න සල්ලි තිබුණා.

 මං මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු එක ගැන යූලින්ඩාට හිතුණේ කොහොමද? ඒ ගැන එයාම ඔයාලට කියයි. “මාත් හැදී වැඩුණේ ඇල්බේනියාවේ නිසා මගෙත් එකම හීනේ වුණේ දුප්පත්කමින් ගොඩ එන එක. ඒ වෙනුවෙන් මං ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලයි හිටියේ. සල්ලි හම්බ කරන්න ආර්ටාන් බොරු කිව්වත් හොරකම් කළත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරත් මං ඒ හැම දේටම උදව් කළා. මොකද මං හිතුවේ සල්ලි තමයි ජීවිතේ කියලා.”

“සල්ලි හම්බ කරන්න ආර්ටාන් බොරු කිව්වත් හොරකම් කළත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරත් මං ඒ හැම දේටම උදව් කළා.”—යූලින්ඩා

 2002දී, අපි මවපු හීන බොඳ වෙලා ගියා. මොකද ලොකු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එක්ක මාව අහු වෙලා මට ආයෙත් හිරේ යන්න වුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

 ඒ සිද්ධිය වෙන්න අවුරුදු 2කට කලින් යූලින්ඩා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරගෙන තිබුණා. බයිබලය ඉගෙනගන්න එක මට නම් හරි කම්මැළි වැඩක්. ඒත් යූලින්ඩා ඒක හුඟක් ආසාවෙන් කළා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මගේ පවුලේ අය ආගමට ගොඩක් ළැදියි. මාත් පොඩි කාලේ ඉඳන් බයිබලයට ගොඩක් ගරු කළා. සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරලා ඒකේ තියෙන දේවල් ගැන දැනගන්න මට පුදුම ආසාවක් තිබුණේ. බයිබලෙන් ඉගෙනගත්ත හුඟක් දේවල් මට හොඳට තේරුණා. ඒ නිසා මගේ ජීවිතේ සමහර දේවල් වෙනස් කරගන්න මට පුළුවන් වුණා. ඒත් මං සල්ලි ගැන හිතපු විදිහ නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා තිබුණේ නෑ. ආර්ටාන් හිරේ ගියාට පස්සේ තමයි මගේ ඇස් ඇරුණේ. එතකොට මං තේරුම්ගත්තා බයිබලේ සල්ලි ගැන කියන හැම දෙයක්ම ඇත්ත කියලා. අපි සල්ලි පස්සේ කොච්චර දිව්වත් ඒකෙන් අපිට කිසි සතුටක් ලැබුණේ නෑ. මට තේරුණා දෙවියන් කියන විදිහට මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනෙ කියලා.”

 2004දී හිරෙන් නිදහස් වුණ ගමන්ම මට ඕනෙ වුණේ ආයෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න. හැබැයි ඒ වෙද්දී යූලින්ඩා හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තිබුණේ. එයා කියපු එක දෙයක් මගේ හිතට ගොඩක් වැදුණා. “මට ඔයාගේ සල්ලි එපා. මට ආපහු මගේ ආර්ටාන්ව දෙන්න. මට ඕනෙ මගේ දරුවෝ එයාලගේ තාත්තා එක්ක ඉන්නවා දකින්නයි” කියලා යූලින්ඩා කිව්වා. එයා කියපු දේ අහලා මට පුදුම හිතුණා. ඒත් එයා කියපු දේ හරි. මං ජීවිතේ වැඩි හරියක්ම හිටියේ පවුලේ අයගෙන් ඈත් වෙලයි. නීති විරෝධී වැඩ කරලා සල්ලි හොයන්න ගිය නිසා මට මුහුණ දෙන්න වුණ කටුක අද්දැකීම් ගැනත් මං හිතුවා. ඒ නිසා පරණ යාළුවන්ව අත්හැරලා මගේ ජීවිතේ වෙනස් කරගන්න මං තීරණය කළා.

 මගේ නෝනායි, දරුවෝ දෙන්නායි එක්ක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගිය එක තමයි මගේ ජීවිතේ වෙනස් කරගන්න වැඩියෙන්ම බලපෑවේ. එදා මට හම්බ වුණ අය පෙන්නපු අවංක ආදරේ දැකලා මං පුදුම වුණා. ටික කාලෙකට පස්සේ මං බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

ඉස්සර මං හිතාගෙන හිටියේ සල්ලි හුඟක් තිබුණොත් සතුටින් ඉන්න පුළුවන් කියලයි

 ‘සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට සිදු වෙයි’ කියලා මං බයිබලෙන් ඉගෙනගත්තා. (1 තිමෝති 6:9, 10) ඒ දේ ඇත්ත කියලා මං මගේ ජීවිතෙන්ම අද්දැක්කා. කලින් ගත කරපු ජීවිතේ ගැන මං ගොඩක් දුක් වුණා. මොකද ඒ දේවල් නිසා මායි, මගේ පවුලේ අයයි ගොඩක් දුක් වින්දා. (ගලාති 6:7) යෙහෝවා දෙවියන්ටයි, ඔහුගේ පුතා යේසුස්ටයි අපි ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා දැනගත්තාට පස්සේ මං මගේ ජීවිතේ වෙනස් කරගන්න පටන්ගත්තා. මං ගැන හිතනවාට වඩා අනිත් අය ගැන හිතන්න මං පුරුදු වුණා. ඒ නිසා කොහොමහරි පවුලේ අයට වැඩිපුර කාලය දෙන්න මං උත්සාහ කළා.

මං දැන් අද්දකින ආශීර්වාද

 “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න” කියලා බයිබලේ කියන දේ අදාළ කරගත්ත නිසා මට ගොඩක් ප්‍රයෝජන ලැබුණා. (හෙබ්‍රෙව් 13:5) දැන් මගේ හිත වධ දෙන්නේ නෑ. මට ලොකු සහනයක් දැනෙනවා. ඒ නිසා ඉස්සරට වඩා දැන් මං ඉන්නේ හරිම සතුටින්. දැන් මං පවුලේ අයට හුඟක් කිට්ටුයි.

 ඉස්සර මං හිතාගෙන හිටියේ සල්ලි හුඟක් තිබුණොත් සතුටින් ඉන්න පුළුවන් කියලයි. ඒත් දැන් මට තේරෙනවා නීති විරෝධී වැඩ කරකර සල්ලි පස්සේ දුවපු එකෙන් ඉතුරු වුණේ වේදනාව විතරයි කියලා. දැන් අපිට එච්චර සල්ලි නැති වුණත් ඊට වඩා හුඟක් වටින දෙයක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒක තමයි යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ලැබුණ එක. පවුලක් විදිහට එකට එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන එකෙන් අපි ලොකු සතුටක් ලබනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී මගේ පවුලේ අයත් එක්ක