Skip to content

නිර්මාණයක්ද?

හිරු රශ්මිය උරාගන්න උපන් හපන් කැබේජ් වයිට් සමනලයා

හිරු රශ්මිය උරාගන්න උපන් හපන් කැබේජ් වයිට් සමනලයා

 සාමාන්‍යයෙන් සමනලයන් අව්ව තපිනවා. මොකද අව්ව තටුවලට වැදුණාම තමයි පියාඹන්න උදව් වෙන මාංස පේශි උණුසුම් වෙලා පියාඹන්න ඕන කරන ශක්තිය උන්ට ලැබෙන්නේ. හැබැයි අව්ව අඩු දවස්වලදී අනිත් සමනලුන්ට වඩා ඉක්මනින් කැබේජ් වයිට් සමනලයා පියාඹන්න පටන්ගන්නවා. එහෙම කරන්න උන්ට පුළුවන් වෙන්නේ කොහොමද?

 මේ ගැන හිතන්න: සමනල වර්ග අතරින් වැඩි හරියක් පියාඹන්න තටුවලට ඕන කරන ශක්තිය ලබාගන්න අව්ව තපින්නේ තටු දෙක එකට තියාගෙන නැත්නම් සම්පූර්ණයෙන්ම දිගහැරලා. හැබැයි කැබේජ් වයිට් සමනලයා උගේ තටු තියාගන්නේ ඉංග්‍රීසි “V” අකුරේ හැඩයට. තටුවලට උපරිම හිරු රශ්මිය උරාගන්න පුළුවන් වෙන්නේ තටු දෙක අංශක 17ක කෝණයක් හිටින විදිහට තියාගත්තාමයි කියලා පර්යේෂකයන් හොයාගෙන තියෙනවා. ඒ ඉරියව්වෙන් ඉද්දී හිරු රශ්මිය කෙළින්ම තටු හරහා මාංස පේශිවලට ලැබෙන නිසා අනිත් වර්ගවල සමනලුන්ට කලින් පියාඹන්න කැබේජ් වයිට් සමනලයාට පුළුවන් වෙනවා.

 ඒ සමනලුන් ඉන්න ඉංග්‍රීසි “V” අකුරේ හැඩයට සූර්ය කෝෂ හැදුවොත් ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද කියලා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ඉන්න පර්යේෂකයන් පිරිසක් හොයලා බැලුවා. ඒකෙන් එයාලා දැනගත්තා ඉංග්‍රීසි “V” අකුරේ හැඩයට සූර්ය කෝෂ හැදුවොත් ඒවායින් ලැබෙන ශක්තිය අනිත් සූර්ය කෝෂවලින් ලැබෙන ශක්තියට වඩා සියයට 50කින් විතර වැඩි වෙනවා කියලා.

 කැබේජ් වයිට් සමනලුන්ගේ තටු මතට වැටෙන ආලෝකය හරිම වේගයෙන් පරාවර්තනය වෙනවා කියලත් පර්යේෂකයන් හොයාගත්තා. උන් තටු තියාගන්න ඉංග්‍රීසි “V” අකුරේ හැඩය සහ උන්ගේ තටුවල තියෙන පරාවර්තනය කිරීමේ හැකියාව අනුකරණය කරමින් ඒ පර්යේෂකයන් සැහැල්ලු සහ වඩාත් කාර්යක්ෂම සූර්ය කෝෂ නිපදවලා තියෙනවා. මේ දේවල් ගැන හිතද්දී කැබේජ් වයිට් සමනලුන් “සූර්ය ශක්තිය උරාගන්න උපන් හපන්නු” කියලා මහාචාර්යවරයෙක් වන රිචර්ඩ් ෆ්‍රෙන්ච් කොන්ස්ටන්ට් කියලා තියෙනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? ඉංග්‍රීසි “V” අකුරේ හැඩයට තටු දෙක තියාගෙන ඉක්මනින්ම හිරු රශ්මිය උරාගන්න කැබේජ් වයිට් සමනලුන්ට හැකියාව ලැබිලා තියෙන්නේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි උන්ව නිර්මාණය කරපු නිසාද?