Skip to content

නිර්මාණයක්ද?

මෝරෙක්ටවත් ගලවන්න බැරි රෙමෝරා

මෝරෙක්ටවත් ගලවන්න බැරි රෙමෝරා

 රෙමෝරා කියන්නේ මුහුදු ජීවීන්ගේ ඇඟේ ඇලෙන මාළු වර්ගයක්. සතෙක්ගේ ඇඟේ තදින් ඇලෙන්නත් අවශ්‍ය වුණාම ඒ සතාට කිසිම හානියක් වෙන්නේ නැතුව උගේ ඇඟෙන් ගැලවිලා යන්නත් රෙමෝරාට පුළුවන්. මේ මාළුවාට තියෙන විශේෂ හැකියාව ගැන පර්යේෂකයන් හුඟක් පුදුම වෙනවා.

 මේ ගැන හිතන්න: රෙමෝරාට පුළුවන් මෝරුන්, මඩුවන්, කැස්බෑවන් සහ තල්මසුන් වගේ මුහුදු ජීවීන්ගේ ඇඟේ ඇලෙන්න. ඌ ඇලෙන සතාගේ හමේ නැත්නම් කට්ටේ ස්වභාවය මොන වගේ වුණත් ඒක ඌට ප්‍රශ්නයක් නෙවෙයි. රෙමෝරා ඌ ඇලිලා ඉන්න සතා කාලා ඉතුරු කරන කෑම සහ ඒ සතාගේ ඇඟේ ඉන්න පරපෝෂිතයන්ව ආහාරයට ගන්නවා. ඒ වගේම ඌ සතෙක්ගේ ඇඟේ ඇලිලා ඉන්න නිසා සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් කිසිම මහන්සියක් නැතුව තැනින් තැනට යන්නත් රෙමෝරාට පුළුවන් වෙනවා. ඕනෙම මතුපිටක තදින් ඇලිලා ඉන්න රෙමෝරාට තියෙන මේ හැකියාව ගැන පර්යේෂකයන් අධ්‍යයනය කරනවා.

 තල්මස් මෝරෙක්ගේ ඇඟේ එල්ලිලා ඉන්න රෙමෝරුන්

 රෙමෝරාට ඇලිලා ඉන්න උදව් වෙන බිත්තරයක හැඩැති පැතලි අවයවය තියෙන්නේ උගේ ඔළුවේ උඩ පැත්තේ. ඒක වටේට සිනිඳු, ගනකම් දාරයක් තියෙනවා. ඕනෙම දෙයක තදින් ඇලිලා ඉන්න ඒක ඌට උදව් වෙනවා. ඒක මැද්දේ ඉස්සෙන, පහත් වෙන පටි වගේ දෙයක් තියෙනවා. පේළියට තියෙන ඒ හැම පටියකම පුංචි පුංචි කටු තියෙනවා. ඌ සතෙක්ගේ ඇඟේ ඇලෙද්දී ඒ පටි ඉස්සිලා ඒවාවල තියෙන කටු ඒ සතාගේ ඇඟේ වදිනවා. ඒ නිසා ඒ සතාගේ හම හොඳට බදලා අල්ලගෙන ඉන්න රෙමෝරාට පුළුවන්. ඕනෙම මතුපිටක ඇලෙන්න සහ දිගටම ඒක බදලා අල්ලගෙන ඉන්න රෙමෝරාට තියෙන මේ පුදුමාකාර හැකියාව නිසා සතෙක් කොච්චර වේගයෙන් ගියත් ඒ සතා එකපාරටම හැරුණත් දිගටම උගේ ඇඟේ එල්ලිලා ඉන්න රෙමෝරාට පුළුවන්.

 රෙමෝරාගේ ඔළුව උඩ තියෙන මේ කොටස අනුකරණය කරලා විද්‍යාඥයන් ඒ හැඩයම තියෙන උපකරණයක් නිර්මාණය කරලා තියෙනවා. විවිධ මතුපිටවල් බදලා අල්ලගන්න ඒ උපකරණයට පුළුවන්. ඒක කොච්චර තදින් ඇලුණාද කියනවා නම් එක අවස්ථාවක ඒක ගලවන්න ඒකේ බර වගේ සිය ගුණයකටත් වඩා වැඩි බලයක් යොදන්න පර්යේෂකයන්ට සිද්ධ වුණා.

 රෙමෝරාට තියෙන මේ සුවිශේෂී හැකියාව අධ්‍යයනය කරලා හොයාගෙන තියෙන තාක්ෂණයෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා. ඒ තාක්ෂණය මුහුදු ජීවීන් ගැන කරන පර්යේෂණවලදී උන්ගේ ඇඟේ යම් උපකරණ අලවන්න, මුහුදු පතුලේ එක එක පර්යේෂණ කරන්න යොදාගන්න පුළුවන් වෙයි. ඒ වගේම නැව්වල, පාලම්වල වතුරෙන් යට තියෙන කොටසේ ලයිට් වගේ දේවල් සවි කරන්නත් ඒක ප්‍රයෝජනවත් වෙයි.

 ඔයාගේ නිගමනය මොකක්ද? ඕනෙම මතුපිටක තදින් ඇලිලා ඉන්න හැකියාව රෙමෝරාට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?