Skip to content

නිර්මාණයක්ද?

බූවල්ලාගේ අරුම පුදුම අඬු

බූවල්ලාගේ අරුම පුදුම අඬු

 ඉන්ජිනේරුවන් රොබෝ තාක්ෂණය භාවිත කරලා විශේෂ උපකරණ නිපදවනවා. සැත්කමක් කරද්දී රෝගියාගේ ශරීරයේ විශාල කැපුමක් නොකර පොඩි කැපුමක් කරලා සැත්කම කරන්න උදව් වෙන උපකරණයක් එයාලා නිෂ්පාදනය කළා. එයාලා ඒක හදද්දී අනුකරණය කළේ බූවල්ලාගේ අඬු. ඒවා පහසුවෙන් ඕනම පැත්තකට නමන්න පුළුවන්.

 මේ ගැන හිතන්න: බූවල්ලාට අඬු අටක් තියෙනවා. ඒවායේ දිග ඌට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒවා පාවිච්චි කරලා යම් දෙයක් අල්ලගන්න සහ මිරිකගන්න ඌට පුළුවන්. හරිම පුංචි හිඩැසක තියෙන දෙයක් වුණත් අඬුවලින් අරගන්න බූවල්ලාට තියෙන්නේ පුදුම හැකියාවක්. ඌට අවශ්‍ය විදිහට අඬුවල අවශ්‍ය තැන් දැඩි කරගන්නත් බූවල්ලා සමත්කම් දක්වනවා.

 ඒ අඬු වගේ පහසුවෙන් ඕනෙම පැත්තකට නමන්න පුළුවන් රොබෝ අතක් නිර්මාණය කළොත් ශරීරයේ ඉතාම කුඩා ප්‍රමාණයේ කැපුමක් කරලා සැත්කම් කරන්න වෛද්‍යවරුන්ට ඒක උදව් වෙයි කියලා පර්යේෂකයන් හිතුවා. ඒ වගේම ඉතාමත් සංකීර්ණ සැත්කම් වුණත් හරිම සරලව සහ පහසුවෙන් කරන්න මේ වගේ රොබෝ අතකට පුළුවන්.

 පහසුවෙන් ඕනම පැත්තකට නමන්න පුළුවන් බූවලු අඬු

 මේ වෙනකොට ඉන්ජිනේරුවන් ඒ රොබෝ අත නිර්මාණය කරලා ඉවරයි. වෛද්‍යවරුන් ඒ රෝබෝ අත යොදාගෙන සැත්කම් කරන්න පුහුණු වෙනවා. සැත්කම කරන්න අවශ්‍ය ස්ථානයේ පුංචි කැපුමක් කළාට පස්සේ, අඟල් පහක් දිග මේ රොබෝ අතේ එක කොටසකින් අවට තියෙන සියුම් අවයව පරිස්සමින් උස්සලා ඒවාට හානියක් නොවෙන විදිහට ඉඩ හදලා දෙන්නත් අනික් කොටසෙන් සැත්කම කරන්නත් පුළුවන්. මේ උපකරණය නිපදවපු කණ්ඩායමේ සාමාජිකයෙක් වන වෛද්‍ය ටොම්මාසෝ රාන්ට්සානී මේ වගේ දෙයක් කිව්වා. “බූවල්ලාගේ අඬු අනුකරණය කරලා හදපු මේ උපකරණය යොදාගෙන තව අලුත් අංග එකතු කරපු මීට වඩා දියුණු උපකරණ ඉදිරියේදී නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.”

ඕනම පැත්තකට පහසුවෙන් නමන්න පුළුවන් රොබෝ අත සැත්කම්වලට හුඟක් ප්‍රයෝජනවත්

 ඔයාගේ නිගමනය මොකක්ද? ඒ විදිහේ අඬු බූවල්ලාට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඒවා නිර්මාණය කළ නිසාද?