Skip to content

නිර්මාණයක්ද?

බල්ලාගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව

බල්ලාගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව

 බල්ලන්ගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව හරිම තියුණුයි. ඒ හැකියාව පාවිච්චි කරලා වෙන බල්ලෙක්ගේ වයස, ඒ බල්ලා ඒ වෙලාවේ හදන්නේ මොන වගේ දෙයක් කරන්නද, ඒ බල්ලෙක්ද නැත්නම් බැල්ලියෙක්ද කියලා හොයාගන්න බල්ලන්ට පුළුවන් කියලා පර්යේෂකයන් කියනවා. පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හංගලා තියෙන තැන් හොයාගන්නත් බල්ලන්ව පුහුණු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමන් අවට වෙන දේවල් තේරුම්ගන්න මිනිසුන් පාවිච්චි කරන්නේ පෙනීමේ හැකියාව. ඒත් බල්ලන් ඒ සඳහා පාවිච්චි කරන්නේ උන් සතු ගඳ සුවඳ දැනීමේ හැකියාවයි.

 මේ ගැන හිතන්න: සාමාන්‍යයෙන් මිනිසුන්ට යම් දේක ගඳ සුවඳ බලලා ඒ ගැන යම් අවබෝධයක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් ඒ සඳහා බල්ලන්ට තියෙන හැකියාව මිනිසුන්ට තියෙන හැකියාවට වඩා දහස් ගුණයකින් වැඩියි. එක්සත් ජනපදයේ ජාතික තත්ව පාලන සහ තාක්ෂණ ආයතනය මේ වගේ අදහසක් පළ කෙරුවා. “යම් ද්‍රව්‍යයක කොටස් ට්‍රිලියනයකට වෙනත් ද්‍රව්‍යයක සුළු ප්‍රමාණයක් එක් කළත් බල්ලාට ඒක හඳුනගන්න පුළුවන්. උදාහරණයකට හිතන්න ඔලිම්පික් තරඟ පවත්වන ලොකු පිහිනුම් තටාකයක තියෙන වතුරට සීනි තේ හැඳි කාලක් දිය කළා කියලා. බල්ලාට පුළුවන් ඒ වතුරේ සීනි තියෙනවා කියලා හඳුනගන්න.”

 ඒ වගේ දස්කමක් පාන්න බල්ලාට උදව් වෙන්නේ මොකක්ද?

  •   බල්ලන්ගේ නහය තෙතයි. ඒ නිසා සියුම් දේවල්වල පවා ගඳ සුවඳ උන්ට දැනෙනවා.

  •   බල්ලන්ගේ නහයේ වාතය ගමන් කරන කුහර දෙකක් තියෙනවා. එයින් එකක් හුස්ම ගන්න වාතය පෙණහැල්ලට යවන්නත් අනික ඉව අල්ලන්නත් පාවිච්චි කරනවා. උන් ඉව අල්ලද්දී ඇතුල් වෙන වාතය කෙළින්ම යන්නේ උන්ගේ නහයේ ගඳ සුවඳ දැනෙන ස්ථානයටයි.

  •   බල්ලන්ට උන්ගේ නහයේ ඉඳලා වර්ග සෙන්ටිමීටර් 130කටත් එහා තියෙන දේවල්වල ගඳ සුවඳ හඳුනගන්න පුළුවන්. මිනිසුන්ට පුළුවන්කම තියෙන්නේ නහයේ ඉඳලා වර්ග සෙන්ටිමීටර් 5ක් ඇතුළත තියෙන දේවල්වල ගඳ සුවඳ හඳුනගන්න විතරයි.

  •   ගඳ සුවඳ හඳුනගන්න බල්ලන්ට උදව් වෙන සෛල ගණන මිනිසුන්ට ඒ සඳහා උදව් වෙන සෛල ගණනට වඩා 50 ගුණයකින් වැඩියි.

 ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකතු කරලා හදලා තියෙන යම් දේක අඩංගු වෙලා තියෙන්නේ මොනවාද කියලා වෙන වෙනම හඳුනගන්න බල්ලන්ට හැකියාවක් තියෙන්නේ ඒ නිසයි. උදාහරණෙකට සුප් එකක් හදනවා අපි දැක්කේ නැතත් අපේ නහයට දැනෙන සුවඳින් අපිට කියන්න පුළුවන් ඒක සුප් එකක් කියලා. ඒත් සමහර විශේෂඥයන් කියන විදිහට ඒ සුප් එකේ අඩංගු හැම දෙයක්ම වෙන වෙනම හඳුනගන්න බල්ලන්ට පුළුවන්.

 පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතනයක (Pine Street Foundation) පර්යේෂකයන් බල්ලාගේ මොළය සහ නහය එකට වැඩ කරන විදිහ හැඳින්නුවේ “ගඳ සුවඳ හඳුනගැනීම සඳහා මිහිපිට ඇති පද්ධති අතරින් ඉතාම සංකීර්ණ පද්ධතිය” හැටියටයි. බල්ලාගේ නහය අනුකරණය කරලා පිටරටවලට පන්නන නීති විරෝධී දේවල්, පුපුරණ ද්‍රව්‍ය, පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග හඳුනගන්න පුළුවන් විදිහේ ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න විද්‍යාඥයන් මහන්සි වෙනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? ඉව අල්ලලා දේවල් හඳුනගැනීමේ හැකියාව බල්ලාට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි නිර්මාණය කරපු නිසාද?