Skip to content

Moment/Robert D. Barnes via Getty Images

නිර්මාණයක්ද?

ගුමන කුරුල්ලාගේ දිව

ගුමන කුරුල්ලාගේ දිව

 වතුර වීදුරුවකට හීනි බටයක් දැම්මාම වතුර ඒ බටය දිගේ ඉබේම ඉහළට නඟින ක්‍රියාවලිය හඳුන්වන්නේ කේශාකර්ෂණය කියලා. ගුමන කුරුල්ලා මල්වලින් පැණි බොන්නෙත් කේශාකර්ෂණයේ උදව්වෙන් කියලයි විද්‍යාඥයන් කලින් හිතුවේ. හැබැයි දැන් එයාලා හොයාගෙන තියෙනවා ඌ මල්පැණි බොන විදිහ ඊට වඩා හුඟක් සංකීර්ණයි කියලා.

 මේ ගැන හිතන්න: මල්පැණි උරන්න ගුමන කුරුල්ලා උගේ දිව මල ඇතුළට දැම්මාම අග හරියෙන් දිව දෙකට බෙදෙනවා. ඊටපස්සේ දෙකට බෙදුණ දිවේ එක් එක් කොටස පීල්ලක් වගේ හැදෙනවා. මුලින්ම ඒ පීලි දෙක තියෙන්නේ වැහිලා. හැබැයි මල්පැණිවලට දිව දැම්ම ගමන් ඒ පීලි ඇරෙනවා. ඊටපස්සේ ගුමන කුරුල්ලා ඒ පීලි හරහා මල්පැණි දිවට එකතු කරගන්නවා. දිව මල්පැණිවලින් පිරුණාට පස්සේ ඒ පීලි දෙක වැහිලා ඌ දිව හොට ඇතුළට ගන්නවා.

 පර්යේෂකයන් වන අලෙහන්ඩ්‍රෝ රිකෝ-ග්වෙවාරා, ටායි-ශී ෆාන් සහ මාගරට් රුබාගේ මෙහෙම කියනවා. “ගුමන කුරුල්ලාගේ දිව දියරයකට දැම්මාමයි, දියරයෙන් එළියට ගත්තාමයි ඒකේ හැඩය වෙනස් වෙන්නේ හිතාගන්නවත් බැරි වේගයකින්. මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්න ගත වෙන්නේ තත්පරයකින් 1/10කටත් වඩා අඩු කාලයක්. උගේ දිව දියර රඳවාගන්නම හදලා තියෙන පුදුමාකාර උපකරණයක් වගේ.”

 ඒ හැම දේකටම වඩා පුදුම හිතෙන දේ තමයි මේ ක්‍රියාවලියට ගුමන කුරුල්ලාගේ ශක්තියෙන් එක බිඳුවක්වත් වැය වෙන්නේ නැති එක. මල්පැණි උරන්න දිව දාද්දී සහ දිව එළියට ගද්දී දිවේ පීලි ඇරෙන වැහෙන එක සිද්ධ වෙන්නේ හරිම සංකීර්ණ ක්‍රියාවලියකින්.

 පර්යේෂකයන් විශ්වාස කරනවා දියර රඳවාගන්න ගුමන කුරුල්ලාට තියෙන මේ සුවිශේෂී හැකියාව වෛද්‍ය ක්ෂේත්‍රයට, රොබෝ තාක්ෂණයට වගේම තවත් හුඟක් ක්ෂේත්‍රවලට ප්‍රයෝජනවත් වෙයි කියලා. උදාහරණෙකට බිම හැලුණ තෙල් සහ දියර වර්ග වගේ දේවල් පිරිසිදු කරන්න පාවිච්චි කරන මොප් වැඩි දියුණු කරන්නත් මේ තාක්ෂණය පාවිච්චි කරන්න එයාලා බලාපොරොත්තු වෙනවා.

 ගුමන කුරුල්ලා උගේ දිව එළියට දාන විදිහ බලන්න

 ඔයාගේ නිගමනය මොකක්ද? ගුමන කුරුල්ලාට මේ අපූරු, සංකීර්ණ දිව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?