Skip to content

නිර්මාණයක්ද?

කිමිදෙන්න ශූර ගැනට් කුරුල්ලා

කිමිදෙන්න ශූර ගැනට් කුරුල්ලා

 ගැනට් කියන්නේ විශාල මුහුදු පක්ෂියෙක්. ඌ ඉහළ අහසේ ඉඳන් පැයට කිලෝමීටර් 190ක (පැයට සැතපුම් 118ක) විතර වේගයකින් හරියට ඊතලයක් වගේ මුහුද තුළට විදගෙන යනවා. උගේ සිරුර මුහුදු වතුරේ ගැටෙද්දී ලොකු පීඩනයක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී ඒ පීඩනය, උගේ බර වගේ 20 ගුණයකටත් වඩා වැඩි බරක් මුහුද මත පතිත වෙද්දී ඇති වෙන පීඩනයට සමානයි. නැවත නැවතත් ඒ දේ කරමින් ඒ තරම් ලොකු පීඩනයකට ඔරොත්තු දෙන්න ගැනට් කුරුල්ලාට පුළුවන් කොහොමද?

 මේ ගැන හිතන්න: ගැනට් කුරුල්ලා ජල කඳ කපාගෙන යන්න කලින් උගේ පියාපත් ඊතලයක් ආකාරයට හිටින විදිහට පිටුපසට හකුළගන්නවා. ඒ වගේම උගේ ඇස් සිවියකින් ආවරණය කරගන්නවා. බෙල්ලේ සහ පපුවේ අවයව බැලුමක් වගේ පුම්බගන්නවා. ඌ උගේ ශරීරය ඒ විදිහට සකස් කරගන්නේ ජල කඳ කපාගෙන යද්දී ඇති වෙන පීඩනය දරාගන්න පුළුවන් වෙන්නයි.

 ගැනට් කුරුල්ලා උගේ හොට, ඔළුව සහ බෙල්ල කේතුවක හැඩයට සකස් කරගෙන තමයි ජල කඳ කපාගෙන යන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදී දැනෙන පීඩනය බෙල්ලේ එක තැනකට විතරක් යන්නේ නැතුව බෙල්ලේ තියෙන ශක්තිමත් මාංස පේශි පුරාම විහිදිලා යනවා. ඒ ගමන්ම වතුර ඇතුළත දකින්න පුළුවන් වෙන විදිහට ඌ උගේ ඇස් ආයෙත් සකස් කරගන්නවා.

 ගැනට් කුරුල්ලාට කොයි තරම් ගැඹුරට කිමිදෙන්න පුළුවන්ද? ඌට පුළුවන් ජලය මත පතිත වෙන මොහොතේ පනින පිම්මෙන්ම මීටර් 11ක් (අඩි 36ක්) විතර ගැඹුරට කිමිදිලා යන්න. ඊටපස්සේ භාගෙට නවාගත්ත තටු සහ උගේ කකුල් ගසමින් තවත් ගැඹුරට යන්න ඌට පුළුවන්. ගැනට් කුරුල්ලා මීටර් 25කටත් (අඩි 82කටත්) වඩා ගැඹුරු මුහුදේ කිමිදෙනවා සමහරු දැකලා තියෙනවා. ගැනට් කුරුල්ලා කිමිදිලා ඉවර වුණාට පස්සේ කිසිම ආයාසයක් දරන්නේ නැතුව වතුර උඩට ඇවිත් ආයෙත් පියාඹන්න පටන්ගන්නවා.

 ගැනට් කුරුල්ලන් කිමිදෙන ආකාරය බලන්න

 මුදවාගැනීමේ මෙහෙයුම්වලදී යොදාගැනීම සඳහා පර්යේෂකයන් රොබෝ ගැනට් කුරුල්ලන්ව නිර්මාණය කරලා තියෙනවා. එයාලා හිතුවේ ඒ රොබෝ කුරුල්ලන්ට ඉහළ අහසේ ඉඳන් පියඹලා ඇවිත් වතුරේ කිමිදෙන්නත් ආපහු උඩට පියඹලා යන්නත් පුළුවන් වෙයි කියලයි. හැබැයි ඒ රොබෝවරුන්ව යොදාගෙන කරපු පරීක්ෂණවලදී එක රොබෝ කුරුල්ලෙක් වතුර මත පතිත වෙද්දී ඇති වෙන පීඩනයට ඔරොත්තු දෙන්න බැරුව කිහිප වතාවක්ම කැඩිලා ගිහින් තියෙනවා. රොබෝ ගැනට් කුරුල්ලාට ‘ගැනට් කුරුල්ලා තරම් දක්ෂ විදිහට ජල කඳ කපාගෙන ගිහින් දිය යට කිමිදීමේ හැකියාවක් නැහැ’ කියලා අන්තිමේදී පර්යේෂකයන් පිළිගත්තා.

 ඔයාගේ නිගමනය මොකක්ද? ගැඹුරු මුහුදේ කිමිදීමේ හැකියාව ගැනට් කුරුල්ලාට ලැබුණේ පරිණාමයෙන්ද නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කරපු නිසාද?