Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

2 කොරින්ති 12:9 - “මාගේ කරුණාව නුඹට සෑහේය”

2 කොරින්ති 12:9 - “මාගේ කරුණාව නුඹට සෑහේය”

 “මා ඔබට මේ වන තුරු පෙන්වා ඇති මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය. මන්ද ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දැකගත හැකිය.”—2 කොරින්ති 12:9, ‘නව ලොව පරිවර්තනය.’

 “මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේය.”—2 කොරින්ති 12:9, ‘පැරණි අනුවාදය.’

2 කොරින්ති 12:9 අදහස

 දෙවියන් පාවුල්ට පොරොන්දු වුණා අභියෝගවලට, දුර්වලකම්වලට සාර්ථකව මුහුණ දෙන්න ඔහු එයාට ශක්තිය දෙනවා කියලා.

 “මා ඔබට මේ වන තුරු පෙන්වා ඇති මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය.” පාවුල්ට තිබුණ පීඩාවක් අයින් කරන්න කියලා එයා දෙවියන්ගෙන් කීප වතාවක්ම ඉල්ලද්දී දෙවියන් එයාට දීපු උත්තරේ තමයි ඒ. දෙවියන් කියපු ඒ වචන “මේ පීඩාවෙන් ගොඩ එන්න මගේ කරුණාව තිබුණොත් ඇති” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒත් දෙවියන් ඇයි එහෙම කිව්වේ? එතන “මහත් කරුණාව” නැත්නම් “කරුණාව” කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් ත්‍යාගශීලී විදිහට නොමිලේම මිනිස්සුන්ට පෙන්වන කරුණාව ගැනයි. ඇත්තටම ඒ කරුණාව ලබන්න අපි කවුරුත් වටින්නේ නැහැ. පාවුල් ලියපු ලිපිවලින් පැහැදිලියි එයාත් මේ කරුණාවෙන් ගොඩක් ප්‍රයෝජන ලැබුවා කියලා. මොකද පාවුල් කියන්නෙත් කලින් ක්‍රිස්තියානීන්ට ගොඩක් පීඩා කරපු කෙනෙක්. හැබැයි දෙවියන්ගේ මහත් කරුණාව නිසා ඔහු එයාට වෙනස් වෙන්න බලය වගේම ශක්තියත් දුන්නා. ඒ නිසයි පස්සේ කාලෙක අනිත් අයටත් ක්‍රිස්තියානීන් වෙන්න උදව් කරන්න එයාට පුළුවන් වුණේ. (1 කොරින්ති 15:9, 10; 1 තිමෝති 1:12-14) ඉතින් ඒ හැම දේකින්ම පාවුල් තේරුම්ගත්තා හැම වෙලේම දෙවියන් මත රඳා ඉන්නවා නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා.

 “ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දැකගත හැකිය.” පාපය උරුම කරගත්ත දුර්වල මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී තමයි ඒ බලය කොච්චර ප්‍රබලද කියලා පේන්නේ. ඒ දේ යෙහෝවා a දෙවියන් පාවුල්ට මතක් කළා. (2 කොරින්ති 4:7; 12:8) තමන්ට සීමාවන්, දුර්වලකම් තියෙනවා කියලා ක්‍රිස්තියානියෙක් තේරුම්ගද්දී එයා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. එතකොට දෙවියන් එයාට සාර්ථක වෙන්න ඔහුගේ බලය දෙනවා. (එෆීස 3:16; ෆිලිප්පි 4:13) එහෙම බලද්දී “ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන්” කියලා දෙවියන් කියපු දේ කොච්චර ඇත්තක්ද කියලා පැහැදිලියි.

2 කොරින්ති 12:9 අවට පද

 පාවුල් ක්‍රි.ව. 55දී මේ ලිපිය ලිව්වේ කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ටයි. යේසුස්ගේ නියෝජිතයෙක් විදිහට සේවය කරන්න තමන්ට අධිකාරියක් තියෙනවා කියලා එයා මේ ලිපියේ සඳහන් කරනවා. සමහරවිට එයා එහෙම කරන්න ඇත්තේ ගුරුවරුයි කියලා කියාගත්ත අය පාවුල් කතා කරපු විදිහ, එයාගේ පෙනුම විහිළුවකට අරගෙන එයාව විවේචනය කරපු නිසා වෙන්න ඇති.—2 කොරින්ති 10:7-10; 11:5, 6, 13; 12:11.

 ඒ චෝදනාවලට උත්තරයක් විදිහට පාවුල් කියනවා එයාට සාර්ථකව සේවේ කරන්න, පීඩා දරාගන්න පුළුවන් වුණේ එයාගේ තනි හයියෙන් නෙවෙයි කියලා. (2 කොරින්ති 6:4; 11:23-27; 12:12) ඒ වගේම 12වෙනි පරිච්ඡේදයේ පාවුල් “ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවක්” ගැන කියනවා. ඒ පීඩාව නිසා එයා ගොඩක් දුක් වින්දා. (2 කොරින්ති 12:7) ඒක මොන වගේ පීඩාවක්ද කියලා එයා හරියටම පැහැදිලි කළේ නැතත් දෙවියන්ගේ උදව්වෙන් ඒකෙන් කොහොමහරි ජය ගන්න පාවුල්ට ලොකු අධිෂ්ඨානයක් තිබුණා.

 ක්‍රිස්තියානීන් ගොඩක් දුෂ්කරතාවලට, පීඩාවලට මුහුණ දෙනවා. හැබැයි එයාලත් දන්නවා මොන පීඩාව ආවත් ඒ ඕනම පීඩාවක් දෙවිගේ බලයට යටයි කියලා. ඒ නිසා එයාලටත් පුළුවන් පාවුල් වගේම මෙහෙම කියන්න. “මා එසේ දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.”—2 කොරින්ති 12:10.

 2 කොරින්ති පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.