Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

1 කොරින්ති 10:13 - “දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය”

1 කොරින්ති 10:13 - “දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය”

 “වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට අන් සියලු මිනිසුන් තුළත් එවැනි පෙලඹීම් ඇති වන බව මතක තබාගන්න. නමුත් දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.”—1 කොරින්ති 10:13, ‘නව ලොව පරිවර්තනය.’

 “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.”—1 කොරින්ති 10:13, ‘පැරණි අනුවාදය.’

1 කොරින්ති 10:13 අදහස

 මේ පදයෙන් විස්තර කරන්නේ දෙවියන්ගේ පුදුමාකාර ගුණාංගයක් ගැන. ඒ තමයි විශ්වාසවන්තකම. ඒ නිසා ඔහුට නමස්කාර කරන අයට පුළුවන් ඕනම වෙලාවක ඔහු මත රඳා ඉන්න. විශේෂයෙන්ම එයාලා ප්‍රශ්නවලට, අභියෝගවලට මුහුණ දෙද්දී සහ එයාලට වැරදි පෙලඹීම් එද්දී.

 “වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට අන් සියලු මිනිසුන් තුළත් එවැනි පෙලඹීම් ඇති වන බව මතක තබාගන්න.” දෙවියන්ගේ සෙනඟ වුණත් සමහර වෙලාවට දෙවියන් අකමැති දෙයක් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ වගේ දෙයකින් ගොඩ එන්න ගොඩක් අමාරු වුණත් ඒවා එයාලට විතරක් එන පෙලඹීම් නෙවෙයි. ඒ වෙනුවට ඒවා පොදුවේ හැම කෙනෙක්ටම එන්න පුළුවන්. a හැබැයි ඒ මොකක් වුණත් දෙවියන්ගේ සෙනඟටත් ඒ වගේ පෙලඹීම්වලින් ගොඩ එන්න පුළුවන් කියලා මේකෙන් සහතිකයක් ලැබෙනවා.

 “දෙවි විශ්වාසවන්තය.” යෙහෝවා b දෙවියන් කියන්නේ ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් නිසා අපිට හැම වෙලාවකම ඔහු මත රඳා ඉන්න පුළුවන්. ඔහු පොරොන්දු වෙනවා ඔහුට ආදරේ කරන, ඔහුට ළැදි, කීකරු අයව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ කියලා. ඔහු ඒක පොරොන්දු වෙනවා විතරක් නෙවෙයි ඒ පොරොන්දුවට ඇලිලාත් ඉන්නවා. (ද්විතීය කතාව 7:9; ගීතාවලිය 9:10; 37:28) ඒ නිසා මේ බයිබල් පදේ “දෙවි විශ්වාසවන්තයි” කියලා කිව්වාට පස්සේ ඔහු දෙන පොරොන්දු දෙක ඔහු අනිවාර්යයෙන්ම ඉෂ්ට කරයි කියලා දෙවියන්ගේ සේවකයන්ට විශ්වාසයි.

 “එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත.” දෙවියන් කවදාවත් ඔහුට විශ්වාසවන්තව සේවේ කරන අයට දරාගන්න බැරි තරමට පීඩාවලට මුහුණ දෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔහුට නමස්කාර කරන එක් එක් කෙනාගේ සීමාව මොකක්ද කියලා ඔහු හොඳට දන්නවා.—ගීතාවලිය 94:14.

 “වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි.” සමහර වෙලාවට දෙවියන් තමන්ගේ සේවකයන් මුහුණ දෙන ප්‍රශ්න අයින් කරලා දානවා. තවත් අවස්ථාවලදී ඒවා දරාගන්න එයාලට ශක්තිය දෙනවා. උදාහරණෙකට ඔහුගේ බලය, බයිබලය සහ ඔහුගේ අනිත් සේවකයන්ව පාවිච්චි කරලා පීඩාවලට මුහුණ දෙන අයට අවශ්‍ය මඟ පෙන්වීම්, උදව් දෙන්න ඔහුට පුළුවන්.—යොහන් 14:26; 2 කොරින්ති 1:3, 4; කොලොස්සි 4:11.

1 කොරින්ති 10:13 අවට පද

 මේ වචන සඳහන් වෙන්නේ පාවුල් කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ට ලියපු ලිපියක. පාවුල් ඒ ලිපිය ලියද්දී අතීත ඊශ්‍රායෙල්වරුන්ට වුණ දේවල් ගැන කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ට මතක් කළා. (1 කොරින්ති 10:11) ඊශ්‍රායෙල්වරුන්ට මුහුණ දෙන්න වුණ හුඟක් පරීක්ෂා සහ වැරදි පෙලඹීම් ගැන පාවුල් එයාලට කිව්වා. ඒවාට රූප වන්දනාව සහ අනාචාරය ඇතුළත්. (1 කොරින්ති 10:6-10) සමහරු ඒ වැරදි ආශාවන්ට අහු වුණා. ඉතින් එයාලව උදාහරණෙකට අරන් පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා වැරදි පෙලඹීම් කියන උගුලට අහු වෙන්න එපා කියලා. (1 කොරින්ති 10:12) ඒත් එක්කම 1 කොරින්ති 10:13 තියෙන වචන පාවිච්චි කරලා පාවුල් එයාලට සහතිකයකුත් දුන්නා වැරදි පෙලඹීම්වලට අහු වෙන ඕනම කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න පුළුවන් කියලා.

 1 කොරින්ති පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a “වැරදි පෙලඹීම” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය පරීක්ෂණය නැත්නම් අභියෝගය කියලත් පරිවර්තනය කරන්න පුළුවන්.

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.