Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ෆිලිප්පි 4:13 - ‘මට ක්‍රිස්තුස්වහන්සේගේ පිහිටෙන් සෑම දේම කරන්ට හැකිවෙමි’

ෆිලිප්පි 4:13 - ‘මට ක්‍රිස්තුස්වහන්සේගේ පිහිටෙන් සෑම දේම කරන්ට හැකිවෙමි’

 “මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:13, ‘නව ලොව පරිවර්තනය.’

 “මට බලය දෙන්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ පිහිටෙන් සෑම දේම කරන්ට හැකි වෙමි.”—ෆිලිප්පි 4:13, ‘පැරණි අනුවාදය’ (1854).

ෆිලිප්පි 4:13 අදහස

 පාවුල් ලියපු මේ වචනවලින් පැහැදිලි වෙනවා දෙවියන්ගේ සේවකයන්ට ඔහුගේ කැමැත්ත කරන්න අනිවාර්යයෙන්ම බලය ලැබෙනවා කියලා.

 සමහර බයිබල් පරිවර්තනවල කියන්නේ පාවුල්ට ඒ බලය ලැබුණේ ක්‍රිස්තුස්ගෙන් කියලා. හැබැයි පැරණි ග්‍රීක අත්පිටපත්වල ඒ බයිබල් පදයේ “ක්‍රිස්තුස්” කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා හුඟක් බයිබල් පරිවර්තනවල ඒ අදහස “මට බලය දෙන තැනැත්තාගෙන්” (‘නව ලොව පරිවර්තනය’) සහ “මා බලවත්කරන්නාවූ තැනැන්වහන්සේ තුළ” (‘පැරණි අනුවාදය’ 1938) විදිහට පරිවර්තනය කරලා තියෙනවා. එහෙනම් “මට බලය දෙන තැනැත්තාගෙන්” කියද්දී පාවුල් ඇත්තටම අදහස් කළේ කා ගැනද?

 අවට පද බලද්දී පැහැදිලිව පේනවා පාවුල් එතන කතා කළේ දෙවියන්ගෙන් ලැබෙන බලය ගැන කියලා. (ෆිලිප්පි 4:6, 7, 10) උදාහරණෙකට පාවුල් ෆිලිප්පිවරුන්ට ලියපු ඒ ලියුමේ මුල් හරියේදී මෙහෙම කියලා තියෙනවා. “ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.” (ෆිලිප්පි 2:13) ඒ වගේම 2 කොරින්ති 4:7 කියනවා සේවය සම්පූර්ණ කරන්න එයාට බලය ලැබුණේ දෙවියන්ගෙන් කියලා. (2 තිමෝති 1:8 බලන්න.) එහෙනම් “මට බලය දෙන තැනැත්තා” විදිහට පාවුල් හඳුන්වලා තියෙන්නේ දෙවියන්ව කියලා පැහැදිලියි.

 “සෑම දෙයකටම මුහුණ දීමට” ශක්තිය ලැබෙනවා කියද්දී පාවුල් අදහස් කළේ මොකක්ද? එයා ඒකෙන් අදහස් කරන්න ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත කරද්දී එයාට මුහුණ දෙන්න වුණ තත්වයන්, අභියෝග ගැන වෙන්න ඇති. කිසි අගහිඟකමක් නැති කාලවල්වලදී විතරක් නෙවෙයි, අගහිඟකම්වලට මුහුණ දීපු කාලවල්වලදීත් පාවුල් දෙවියන්ව විශ්වාස කරලා වැඩ කෙරුවා. ඒ නිසා මොන වගේ තත්වයන්වලට මුහුණ දුන්නත් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න පාවුල් ඉගෙනගත්තා.—2 කොරින්ති 11:23-27; ෆිලිප්පි 4:11.

 පාවුල්ගේ වචන අද ඉන්න ක්‍රිස්තියානීන්ටත් ලොකු දිරිගැන්වීමක්. මොකද ඒකෙන් පැහැදිලි වෙනවා දෙවියන් එයාලට පීඩා විඳදරාගන්නත් දිගටම ඔහුගේ කැමැත්ත කරන්නත් අනිවාර්යයෙන්ම ශක්තිය දෙනවා කියලා. දෙවියන් ඒ දේ කරන්නේ ඔහුගේ බලය, ඔහුගේ සේවකයන් සහ ඔහුගේ වචනය වන බයිබලය මාර්ගයෙන්.—ලූක් 11:13; ක්‍රියා 14:21, 22; හෙබ්‍රෙව් 4:12.

ෆිලිප්පි 4:13 අවට පද

 පාවුල් ඒ දේ ලියලා තියෙන්නේ එයා ෆිලිප්පිවරුන්ට ලියපු ලියුමේ අන්තිම හරියට වෙන්න. පාවුල්ව මුල්ම වතාවට රෝමයේ හිරගත කරපු කාලේදී ඒ කියන්නේ ක්‍රි.ව. 60-61ත් අතර කාලේදී විතර තමයි මේ ලියුම ලියලා තියෙන්නේ. යම් කාලයක් යන කල් පාවුල්ට ඕන කරන කෑම බීම වගේ දේවල් දීලා එයාට උදව් කරන්න ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන්ට බැරි වුණා. හැබැයි පාවුල් මේ ලියුම ලියපු කාලේ වෙද්දී ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන්ට ඒ දේ කරන්න පුළුවන් වුණා.—ෆිලිප්පි 4:10, 14.

 ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන් කැමැත්තෙන්ම දේවල් පරිත්‍යාග කරපු එක පාවුල් ගොඩක් අගය කළා. එයාලා දේවල් දීපු නිසා දැන් එයාට කිසි අඩුපාඩුවක් නැහැ කියලා පාවුල් එයාලට කිව්වා. (ෆිලිප්පි 4:18) දෙවියන්ගේ සේවකයන්ට උදව් වෙන මේ වැදගත් කාරණය ගැනත් පාවුල් එයාලට කිව්වා. කෙනෙක් දුප්පත් වුණත් පොහොසත් වුණත් දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න පුළුවන්.—ෆිලිප්පි 4:12.