Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

රෝම 6:23 - ‘පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, සදාකාල ජීවනයය’

රෝම 6:23 - ‘පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, සදාකාල ජීවනයය’

 “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”—රෝම 6:23, ‘නව ලොව පරිවර්තනය.’

 “පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.”—රෝම 6:23, ‘පැරණි අනුවාදය.’

රෝම 6:23 අදහස

 පව්කාරකම උරුම කරගෙන තියෙන නිසා හැම කෙනෙක්ම මැරෙනවා කියලයි පාවුල් ඒ වචනවලින් පැහැදිලි කරන්නේ. හැබැයි දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු සදාකාල ජීවිතය කියන තෑග්ග දෙනවා.

 “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.” හැම කෙනෙක්ම ඉපදෙන්නෙම පව්කාර ස්වාභාවය උරුම කරගෙන. ඒ නිසා වැරදි දේවල් කරන්න එයාලා නිකම්ම පෙලඹෙනවා. a (ගීතාවලිය 51:5; දේශනාකාරයා 7:20) පව්කාරකම නිසා තමයි හැමෝම වයසට ගිහිල්ලා මැරෙන්නේ.—රෝම 5:12.

 ඒ කාරණය පැහැදිලි කරන්න පාවුල් ලස්සන උදාහරණයක් පාවිච්චි කළා. ස්වාමියෙක් සේවකයෙක්ට දෙන කුලියට එයා මරණය සමාන කළා. අපි දන්නවා වැඩ කළාට පස්සේ සේවකයෙක්ට කුලියක් ලැබෙනවා කියලා. ඒ වගේම තමයි අපේ පව්කාරකමට අපිට ලැබෙන කුලිය තමයි මරණය.

 පාවුල් කිව්වා “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇත” කියලා. (රෝම 6:7) ඒ කියන්නේ කෙනෙක් මැරෙද්දී එයා කරපු පව්වලින්, එයාගේ වැරදිවලින් එයාට සම්පූර්ණයෙන්ම නිදහස ලැබෙනවා කියන එකයි. එහෙම බලද්දී මැරුණාට පස්සේ කෙනෙක් කරපු වැරදිවලට එයා කොහේට හරි වෙලා දුක් විඳිනවා කියන ඉගැන්වීම පිළිගන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. ඒ වගේම මැරුණාට පස්සේ කෙනෙක්ට කිසිම දෙයක් හිතන්නත් බැහැ, එයාට කිසිම දෙයක් දැනෙන්නෙත් නැහැ කියලා බයිබලේ කියනවා.—දේශනාකාරයා 9:5.

 “නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.” අපි බලපු විදිහට පාපයට ලැබෙන්න ඕනෙ කුලිය මරණය. ඒත් දෙවියන් අපි ඉස්සරහා වටිනා තෑග්ගක් තියලා තියෙනවා. ඒ තමයි සදාකාල ජීවිතය. මුල් භාෂාවට අනුව “තෑග්ග” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය “දෙවියන්ගේ මහත් කරුණාව නිසා ලැබෙන තෑග්ග” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වෙනවා දෙවියන් අපිට මේ දෙන්න යන්නේ අපි ලබන්න වටින්නේ නැති දෙයක් කියලා. මොකද පව්කාර මිනිස්සු විදිහට අපිට කවදාවත් බැහැ අපේම හැකියාවෙන් ගැලවීමවත් සදාකාල ජීවිතයවත් ලබාගන්න. (ගීතාවලිය 49:7, 8) හැබැයි යේසුස් මත විශ්වාසය තියන ඕනම කෙනෙක්ට මේ වටිනා තෑග්ග දෙන්න දෙවියන් ආසාවෙන් බලාගෙන ඉන්නවා.—යොහන් 3:16; රෝම 5:15, 18.

රෝම 6:23 අවට පද

 ක්‍රි.ව. 56දී පාවුල් මේ ලිපිය ලියන්නේ රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට. ඒ ක්‍රිස්තියානීන් අතර දෙවියන්ගේ මහත් කරුණාව ගැන වැරදි මත තිබුණා. සමහරු ග්‍රීක දර්ශනවාදී අදහස්වල බලපෑමට අහු වෙලා තිබුණ නිසා එයාලා හිතුවා වැඩියෙන් පව් කරද්දී වැඩි වැඩියෙන් දෙවියන්ගේ මහත් කරුණාව ලබන්න අවස්ථාව ලැබෙනවා කියලා. (රෝම 6:1) තවත් අය හිතුවා එයාලා මෝසෙස්ගේ නීතිය යටතේ නැති නිසා වැරදිවලට දෙවියන්ට ගණන් දෙන්න ඕනෙ නැහැ කියලා. (රෝම 6:15) හැබැයි කෙනෙක් පාපයට වහල් වෙලා දිගින් දිගටම වැරදි කළොත් එයාට දෙවියන්ගේ මහත් කරුණාව ලබන්න බැහැ කියලා මේ ලිපියෙන් පාවුල් පැහැදිලිව කාවැද්දුවා.—රෝම 6:12-14, 16.

 අද ඉන්න දෙවියන්ගේ සෙනඟටත් පාවුල්ගේ වචනවලින් සහතිකයක් ලැබෙනවා එයාලා පව්කාරයන් විදිහට ඉපදුණත් එයාලා ඉස්සරහා බලාපොරොත්තුවක් තියෙනවා කියලා. කෙනෙක් තමන්ගේ පව්කාර ආශාවන්වලට වහල් වෙන්නේ නැතුව දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිති රකිනවා නම් සදාකාල ජීවිතය කියන තෑග්ග දෙන්න දෙවියන් බලාගෙන ඉන්නවා.—රෝම 6:22.

 රෝම පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a දෙවියන්ගේ උසස් ප්‍රමිතිවලට එකඟ නැති ක්‍රියාවන් සහ සිතුවිලි “පාපය” කියලා බයිබලේ හඳුන්වලා තියෙනවා. (1 යොහන් 3:4) ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “පාපය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.