Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

රෝම 12:2 - “මේ ලෝකයේ ආකාරයට සමාන නොවන්න”

රෝම 12:2 - “මේ ලෝකයේ ආකාරයට සමාන නොවන්න”

 “තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.”—රෝම 12:2, ‘නව ලොව පරිවර්තනය.’

 “නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවිගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.”—රෝම 12:2, ‘පැරණි අනුවාදය.’

රෝම 12:2 අදහස

 කෙනෙක් දෙවියන්ව සතුටු කරන්න කැමති නම් එයා අනිත් අයගෙන් එන නරක බලපෑම්වලට විරුද්ධව ඉන්න ඕනේ. ඒ වගේම එයාගේ පෞද්ගලිකත්වය ඒ කියන්නේ ජීවිතය වෙනස් කරගන්නත් ඕනේ. හැබැයි එහෙම කරන්න කියලා දෙවියන් කාටවත් බල කරන්නේ නැහැ. කෙනෙක් දෙවියන් කැමති විදිහට එයාගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න පෙලඹෙන්නේ එයා දෙවියන්ට ඇත්තටම ආදරේ නිසයි. ඒ වගේම අපිට කරන්න බැරි දේවල් දෙවියන් කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලත් දෙවියන්ට කීකරු වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි කියලත් තේරුම් අරන් ඉන්න නිසයි.—යෙසායා 48:17.

 “මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.” “මේ සමාජය” කියලා හඳුන්වන්නේ හරි වැරැද්ද ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා වෙනුවට තමන් කැමති විදිහට ජීවත් වෙන මිනිස්සු හැමෝවම. (1 යොහන් 2:15-17) එයාලා හැම වෙලේම බලන්නේ කොහොම හරි අනිත් අයවත් එයාලගේ අච්චුවට දාගන්න. ඒ කියන්නේ එයාලා හිතන විදිහට, වැඩ කරන විදිහට දේවල් කරන්න අනිත් අයව පොලඹවගන්න. ඒ නිසා කෙනෙක් දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න කැමති නම් එයා මේ ලෝකයෙන් එන ඒ බලපෑම්වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද ඒ බලපෑම්වලට අහු වුණොත් දෙවියන් අකමැති දේවල් කරන්න එයා පෙලඹෙයි. ඒකෙන් හානියක් වෙන්නේ එයාටමයි.—එෆීස 2:1-3; 4:17-19.

 “ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.” දෙවියන්ව සතුටු කරන්න කැමති කෙනෙක් එයාට හැඟෙන විදිහ, හිතන විදිහ වෙනස් කරගන්නත් ඕනේ. කොච්චර දුරකට ඒ වෙනස්කම් කරගන්න ඕනෙද? ඒක තේරුම්ගන්න “මුළුමනින්ම වෙනස් කරගෙන” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයේ අදහස තේරුම්ගන්න එක අපිට උදව් වෙනවා. දළඹුවෙක් ටිකෙන් ටික වෙනස් වෙලා සමනලයෙක් වෙනවා වගේ ලොකු වෙනසක් කරගන්න එක ඒ වචනයේ අදහසට ඇතුළත් වෙනවා. දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න කැමති කෙනෙක් එයාගේ පෞද්ගලිකත්වයේ ලොකු වෙනසක් කරගන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලියි. එයා අනිවාර්යයෙන්ම “අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගන්න” ඕනේ. (එෆීස 4:23, 24; කොලොස්සි 3:9, 10) ඒ කියන්නේ එයා හිතන විදිහ, කතා කරන විදිහ, හැසිරෙන විදිහ දෙවියන් කැමති විදිහට හදාගන්න ඕනේ.

 “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.” දෙවියන් කැමති ඔහුට සේවය කරන අය දෙයක් විශ්වාස කරන්න කලින් ඒක ඇත්තද කියලා එයාලටම ස්ථිර කරගන්නවාට. එහෙම කරන අය බයිබලයේ තියෙන දේවල් අධ්‍යයනය කරනවා. ඒකේ කියන විදිහට ජීවත් වෙනවා. ඒ වගේම දෙවියන්ගේ ප්‍රමිති අදාළ කරගද්දී ලැබෙන ප්‍රයෝජන අද්දකිනවා. ඒ නිසා කරන්න ඕන හොඳම දේ දෙවියන් කැමති විදිහට ජීවත් වෙන එකයි කියලා එයාලා එයාලටම තහවුරු කරගෙන තියෙනවා.—ගීතාවලිය 34:8.

රෝම 12:2 අවට පද

 දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා රෝම 12වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තියෙනවා. දෙවියන්ව සතුටු කරන්න නම් අපි නමස්කාර කරන්නේ දෙවියන්ට කියලා අපේ ජීවිතේ හැම පැත්තකින්ම පෙන්නන්න ඕනේ. ඒ වගේම කෙනෙක් කියන නිසාවත් හැඟීම්වලට වහල් වෙලාවත් දෙයක් කරනවා වෙනුවට අපි අපේ ‘බුද්ධිය’ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. (රෝම 12:1, 3) අපිට දෙවියන් කැමති ගුණාංග පෙන්නන්න පුළුවන් විදිහ ගැනත් අනිත් අයත් එක්ක වැඩ කරන්න ඕන විදිහ ගැනත් කවුරු හරි නරක විදිහට සලකද්දී කරන්න ඕනෙ මොනවාද කියන එක ගැනත් ඒ පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්.—රෝම 12:9-21.