Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යොෂුවා 1:9 - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”

යොෂුවා 1:9 - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”

 “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න. ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි. එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”—යොෂුවා 1:9, ‘නව ලොව පරිවර්තනය.’

 “මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.”—යොෂුවා 1:9, ‘පැරණි අනුවාදය.’

යොෂුවා 1:9 අදහස

 යෙහෝවා a දෙවියන් තමන්ගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණු යොෂුවාට ඒ වචනවලින් සහතිකයක් දුන්නා හුඟක් අභියෝගවලට, දරාගන්න බැහැ කියලා හිතෙන තත්වයන්වලට මුහුණ දෙන්න වුණත් “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න” එයාට පුළුවන් කියලා. යෙහෝවා දෙවියන් දීලා තියෙන නීතිවලට කීකරු වෙලා ඉන්න තාක් කල් යොෂුවාට අනාගතය ගැන බය වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මොකද යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම එයාත් එක්ක ඉඳලා එයාට සාර්ථක වෙන්න උදව් කරනවා. ඇත්තටම යෙහෝවා දෙවියන් යොෂුවා එක්කම ඉඳලා එයාට අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නා. ඒ වගේම සතුරන්ව පරද්දන්න එයාට උදව් කළා.

 යොෂුවාට “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න” පුළුවන් වුණේ කොහොමද? ඒ කාලයේදී යෙහෝවා දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් ලබා දීලා තිබුණ ලියවිලි කියවලා යොෂුවා ලොකු දිරිගැන්වීමක් සහ ශක්තියක් ලැබුවා. ඒ ලියවිලිවලට දෙවියන්ගේ “සේවකයා වූ මෝසෙස් [යොෂුවාට] කියා දුන් නීතියට ඇතුළත් සෑම දෙයක්ම” අයිති වුණා. b (යොෂුවා 1:7) යෙහෝවා දෙවියන් යොෂුවාට කිව්වා “නීතියේ සඳහන් සියල්ල . . . දිවා රෑ දෙකේම කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න” කියලා. (යොෂුවා 1:8) ඒ විදිහට ශුද්ධ ලියවිලි කියවලා ඒ ගැන හොඳට හිතපු එකෙන් දෙවියන්ගේ කැමැත්ත කරන්න තමන්ගේ මනස සහ හදවත සූදානම් කරගන්න යොෂුවාට පුළුවන් වුණා. ඊටපස්සේ යොෂුවාට කරන්න තිබුණේ “නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින” එකයි. එයා එහෙම කරපු නිසා එයාට පුළුවන් වුණා ප්‍රඥාවන්තව වැඩ කරලා සාර්ථක වෙන්න. හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයෙක් විදිහට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යොෂුවාට පුළුවන් වුණා.—යොෂුවා 23:14; 24:15.

 යෙහෝවා දෙවියන් එදා යොෂුවාට කියපු වචනවලින් අද අපිටත් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ඒකෙන් පේනවා යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් ගැන විශේෂයෙන්ම අමාරු තත්වයන්වලට මුහුණ දෙන අය ගැන කොච්චර සැලකිලිමත් වෙනවාද කියලා. යෙහෝවා දෙවියන්ට ඕනෙ ඒ අයත් යොෂුවා වගේ සාර්ථක වෙනවා දකින්න. හැමදාම බයිබලය කියවලා ඒ ගැන හොඳට හිතන එකෙන් සහ ඉගෙනගත්ත දේවල්වලට අනුව ජීවත් වෙන එකෙන් යොෂුවා වගේ “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න” එයාලටත් පුළුවන්.

යොෂුවා 1:9 අවට පද

 මෝසෙස්ගේ මරණයෙන් පස්සේ ඊශ්‍රායෙල් සෙනඟට මඟ පෙන්වන්නේ යොෂුවා කියලා යෙහෝවා දෙවියන් කිව්වා. (යොෂුවා 1:1, 2) ඒ කාලය වෙද්දී ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඒ කියන්නේ කානාන් දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලයි තිබුණේ. ඒත් ඒ අයට බලවත් සතුරන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. උදාහරණෙකට යොෂුවාට සිද්ධ වුණා හුඟක් කුරිරු ජාතියක් වුණු කානානිවරුන් එක්ක දරුණු යුද්ධයක් කරන්න. c (ද්විතීය කතාව 9:5; 20:17, 18) ඊශ්‍රායෙල්වරුන්ට වඩා කානානිවරුගේ ගණන හුඟක් වැඩියි. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ට වඩා හුඟක් බලවත් හමුදාවක් ඒ අයට හිටියා. (යොෂුවා 9:1, 2; 17:18) ඒත් යොෂුවා දිගටම ධෛර්යවත්ව යෙහෝවා දෙවියන් දීපු මඟ පෙන්වීම්වලට අනුව වැඩ කළා. අවුරුදු හයක් වගේ පොඩි කාලයක් ඇතුළත ඊශ්‍රායෙල්වරුන්ට එයාලගේ සතුරන්ගෙන් වැඩිදෙනෙක්ව පරාජය කරන්න පුළුවන් වුණු එකෙන් ඔප්පු වුණා යෙහෝවා දෙවියන් යොෂුවා එක්ක දිගටම හිටියා කියලා.—යොෂුවා 21:43, 44.

a ටෙට්‍රාග්‍රැමටනය කියලා හඳුන්වන දෙවියන්ගේ නම නියෝජනය වෙන හෙබ්‍රෙව් අකුරු හතර (יהוה) සිංහලෙන් යෙහෝවා කියලා පරිවර්තනය කරලා තියෙනවා. ‘පැරණි අනුවාදයේ’ දෙවියන්ගේ ඒ නම තියෙන්න ඕන තැන්වල තියෙන්නේ “ස්වාමීන්වහන්සේ” කියලයි. යෙහෝවා කියන නම ගැනත් සමහර බයිබල් පරිවර්තනවලින් දෙවියන්ගේ නම ඉවත් කරලා තියෙන්නේ ඇයි කියන එක ගැනත් වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

b දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියලා තිබුණු මෝසෙස්ගේ පොත් පහ (උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව සහ ද්විතීය කතාව), යෝබ් පොත සහ ගීතාවලිය පොතේ තියෙන ගීතිකා එකක් හෝ දෙකක් යොෂුවාගේ කාලේ වෙද්දී තිබුණා කියලා හිතන්න පුළුවන්. අද තියෙන බයිබලයටත් ඒවා ඇතුළත් කරලා තියෙනවා.

c ඒ වගේ යුද්ධයක් කරන එක අවශ්‍ය වුණේ ඇයි කියලා දැනගන්න 2010 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණ “පුරාණයේ සිටි කානානිවරුන්ව විනාශ කරන්න කියා දෙවි පැවසුවේ ඇයි?” කියන ලිපිය බලන්න.