Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යෙරෙමියා 11:11 - “විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි”

යෙරෙමියා 11:11 - “විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි”

“එබැවින් මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි. ඉන් ගැලවී යෑමට ඔවුන්ට කිසිසේත් නොහැකි වන්නේය. එදාට ඔවුහු මාගෙන් පිහිට පතන්නෝය. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි. එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.”—යෙරෙමියා 11:11, ‘නව ලොව පරිවර්තනය.’

“එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි.”—යෙරෙමියා 11:11, ‘පැරණි අනුවාදය.’

යෙරෙමියා 11:11 අදහස

 දෙවියන් මේ කතා කරන්නේ අනාගතවක්තෘ යෙරෙමියාගේ කාලේ ජීවත් වුණ යුදෙව්වන්ට. එයාලා යෙහෝවාගේ a ධර්මිෂ්ඨ ප්‍රමිති සත පහකට ගණන් ගත්තේ නැහැ. ඔහුගේ අනාගතවක්තෘවරුන් කොච්චර ආදරෙන් එයාලව නිවැරදි කළත් එයාලා ඒවා පිළිගත්තේ නැහැ. ඒ නිසා එයාලාගේ නරක වැඩවල ප්‍රතිඵලවලින් දෙවියන් එයාලව ආරක්ෂා කළේ නැහැ.—හිතෝපදේශ 1:24-32.

 “එබැවින් . . .” ඒ වචනයෙන් කලින් පදවල කතා කරපු දේවල් සහ ඊළඟට කතා කරන්න යන දේවල් සම්බන්ධ කරනවා. යෙරෙමියා 11:1-10 යෙහෝවා ඔහුගේ සෙනඟට කිව්වා එයාලාගේ මුතුන්මිත්තන් ඔහුත් එක්ක ඇති කරගත්ත ගිවිසුම ඒගොල්ලෝ කැඩුවා කියලා. (නික්මයාම 24:7) එයාලාගේ නිර්මාතෘට නමස්කාර කරනවා වෙනුවට යුදෙව්වන් රූප පස්සේ ගියා. දෙවියන්ව අත්හැරලා ගිය නිසා එයාලා ගොඩක් දුෂ්ට වැඩ කළා. එයාලාගේ ළමයින්ව පවා ගින්නෙන් පූජා කළා.—යෙරෙමියා 7:31.

 “මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.” බයිබලයේ දෙවියන් යම් දෙයක් කරනවා කියද්දී ඒකෙන් අදහස් වෙනවා ඔහු යම් දේකට ඉඩ දෙනවා කියන එක. මේ සිද්ධියේදී කොහොමද ඒක අදාළ වෙන්නේ? දෙවියන්ගේ සෙනඟ එයාලට ගොඩක් ප්‍රයෝජන ලැබුණ දෙවියන්ගේ ප්‍රමිති පැත්තකට දාලා බොරු දෙවිවරුන් පස්සේ ගිය නිසා එයාලා එයාලටම ගොඩක් දුක් වේදනා ඇති කරගත්තා. දෙවියන්ගේ රැකවරණයත් එයාලට නැති වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාලාගේ හතුරෙක් වුණ බැබිලෝනියේ රජ යෙරුසලම අල්ලගෙන එහේ හිටපු සෙනඟව වහලුන් විදිහට අරන් ගියා. එයාලා විශ්වාසය තියපු බොරු දෙවිවරුන්ට එයාලව ගලවගන්න බැරි වුණා.—යෙරෙමියා 11:12; 25:8, 9.

 දෙවියන්ගේ සෙනඟට ඒ දුෂ්කර දේවලට මූණ දෙන්න ඔහු ඉඩහැරපු නිසා ඔහු අසාධාරණයක් කළා, එයාලට නපුරු විදිහට සැලකුවා කියලා කියන්න බැහැ. මොකද යාකොබ් 1:13 මෙහෙම කියනවා. “නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” එක පරිවර්තනයක යෙරෙමියා 11:11 කියන්නේ “දෙවියන් යුදෙව්වන් පිටට නපුරක් ගේනවා” කියලා. (‘කිං ජේම්ස් වර්ෂන්’) හැබැයි මුල් භාෂාවට b අනුව ඒ වචනය “විපත්ති” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. යුදෙව්වන් අද්දැකපු දේවල් ඒ වචනයෙන් හොඳට විස්තර කරනවා.

 “එදාට ඔවුහු මාගෙන් පිහිට පතන්නෝය. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.” ‘දෑත්වලින් ලේ වගුරුවන’ අයගේ නැත්නම් බොරු දෙවිවරුන්ගෙන් පිහිට පතන අයගේ යාච්ඤාවලට යෙහෝවා ඇහුම්කන් දෙන්නේ නැහැ. (යෙසායා 1:15; 42:17) හැබැයි තමන් කරන වැරදි ගැන පසුතැවිලා යටහත්ව ආපහු යෙහෝවා ළඟට එන අයට ඔහු ඇහුම්කන් දෙනවා.—යෙසායා 1:16-19; 55:6, 7.

යෙරෙමියා 11:11 අවට පද

 ක්‍රි.පූ. 647දී යෙහෝවා දෙවියන් යෙරෙමියාව ඔහුගේ අනාගතවක්තෘවරයා විදිහට පත් කළා. එදා ඉඳන් අවුරුදු 40ක් යන කල් දෙවියන් ගේන්න යන විනාශය ගැන යෙරෙමියා එයාලට අනතුරු ඇඟෙව්වා. හැබැයි එයාලා ඒ දේවල් කනකටවත් ගත්තේ නැහැ. ඔන්න ඔය කාලේදී තමයි යෙරෙමියා 11:11 තියෙන දේ එයා ලිව්වේ. අන්තිමේදී ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරු ඇවිල්ලා යෙරුසලම විනාශ කළා. ඒ විදිහට යෙරෙමියා කියපු දේ ඉටු වුණා.—යෙරෙමියා 6:6-8; 39:1, 2, 8, 9.

 යෙරෙමියා පොතේ බලාපොරොත්තුවක් ගැන පණිවිඩේකුත් තියෙනවා. යෙහෝවා මෙහෙම කිව්වා. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.’ (යෙරෙමියා 29:10) යෙහෝවා ඔහු දීපු ඒ පොරොන්දුව ක්‍රි.පූ. 537දී ඉටු කළා. ඒක වුණේ මේදිය සහ පර්සියානු හමුදාව බැබිලෝනිය යටත් කරගත්තාට පස්සේ. බැබිලෝනිය අධිරාජ්‍යය පුරාම හිටපු දෙවියන්ගේ සෙනඟට ආපහු එයාලාගේ මව්බිමට ගිහින් සැබෑ නමස්කාරය පිහිටුවන්න යෙහෝවා එතකොට අවස්ථාව දුන්නා.—2 ලේකම් 36:22, 23; යෙරෙමියා 29:14.

 යෙරෙමියා පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් දෙවියන්ගේ නම පොදුවේ පිළිගන්න විදිහට සිංහලෙන් කියන්නේ “යෙහෝවා” කියලයි. හැබැයි හුඟක් පරිවර්තනවල දෙවියන්ගේ නම වෙනුවට “ස්වාමීන්” කියලයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

b හෙබ්‍රෙව් ලියවිලි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පරණ ගිවිසුම කියලා. ඒක මුලින්ම ලිව්වේ හෙබ්‍රෙව් සහ ඇරමයික භාෂාවලින්.