Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ගලාති 6:9 - “යහපත්කම් කිරීමට මැළිනොවෙමු”

ගලාති 6:9 - “යහපත්කම් කිරීමට මැළිනොවෙමු”

 “අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.”—ගලාති 6:9, ‘නව ලොව පරිවර්තනය.’

 “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.”—ගලාති 6:9, ‘පැරණි අනුවාදය.’

ගලාති 6:9 අදහස

 පාවුල් මෙතන ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ දෙවියන් “යහපත්” කියලා නැත්නම් “හොඳයි” කියලා සලකන දේවල් දිගටම කරන්න කියලා. එහෙම කරද්දී දෙවියන් අනිවාර්යයෙන්ම එයාලට ආශීර්වාද කරනවා.

 “අපගේ උත්සාහය අත්නොහැර” කියන යෙදුම “විඩාවට පත් නොවී” එහෙම නැත්නම් “හෙම්බත් නොවී” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. මුල් භාෂාවෙන් ඒ යෙදුමට “අධෛර්යය වෙන්නේ නැතුව” එහෙම නැත්නම් “උද්‍යෝගය අඩු කරගන්නේ නැතුව” කියන අදහසුත් ඇතුළත් වෙන්න පුළුවන්. පාවුල් එතන කියන්නේ “ඔයාලා” කියලා නෙවෙයි “අප” කියලා. පාවුල්ටත් අධෛර්යය කරවන සිතුවිලි එක්ක සටන් කරන්න වුණා කියලා ඒකෙන් පැහැදිලියි.—රෝම 7:21-24.

 “යහපත් දේ” නැත්නම් “හොඳ දේ” කියලා කියද්දී ඒකට දෙවියන්ට නමස්කාර කරන කෙනෙක් ඔහු වෙනුවෙන් කරන්න ඕනෙ හැම දෙයක්ම ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තියානි සභාවේ ඉන්න අය වෙනුවෙන් වගේම සභාවට අයිති නැති අනිත් අය වෙනුවෙන් කරන හොඳ දේවලුත් ඒකට ඇතුළත්.—ගලාති 6:10.

 “අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.” බීජ වැපුරුවාට පස්සේ පැළ වැඩෙන කල් ගොවියෙක්ට බලන් ඉන්න වෙනවා. ඒ වගේ, අපි කරන හොඳ දේවල්වලින් ප්‍රතිඵල ලැබෙන කල් අපිටත් කාලයක් බලන් ඉන්න වෙනවා කියලා පාවුල් ක්‍රිස්තියානීන්ට මතක් කළා. එතන පාවුල් “නෙළාගන්නවා” කියලා සඳහන් කරපු දේ කලින් 7වෙනි පදයේ කියපු දේට සම්බන්ධයි. මොකද එතන කියනවා “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” කියලා. ඉතින් පාවුල් කියන්න හැදුවේ කෙනෙක් දෙවියන් ඉදිරියේ යහපත් දේවල් කරද්දී එයාට සදාකාල ජීවනය ඇතුළු ආශීර්වාද ගොඩක් නෙළාගන්න පුළුවන් කියන එකයි.—රෝම 2:6, 7; ගලාති 6:8.

ගලාති 6:9 අවට පද

 පාවුල් මේ ලිපිය ලිව්වේ ක්‍රි.ව. 50-52ත් අතර කාලයේදී ගලාතියේ ජීවත් වුණ ක්‍රිස්තියානීන්ට. ඒ කාලේ සභාව ඇතුළෙම හිටපු සමහර අය යේසුස්ගේ ඉගැන්වීම් විකෘති කරන්න හැදුවා. ඉතින් පාවුල්ට ඕනෙ වුණේ ඒ බොරු ඉගැන්වීම්වලින් සභාව ආරක්ෂා කරන්න. (ගලාති 1:6, 7) සමහරු කිව්වා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට ක්‍රිස්තියානීන් තාමත් යටත් වෙන්න ඕනෙ කියලා. (ගලාති 2:15, 16) හැබැයි පාවුල් පැහැදිලි කළා දෙවියන් ඒ නීතිය දුන්න අරමුණ දැන් ඉටු වෙලා ඉවර නිසා ක්‍රිස්තියානීන් තවදුරටත් ඒ නීතියට යටත් වෙන්න ඕනෙ නැහැ කියලා.—රෝම 10:4; ගලාති 3:23-25.

 ඉතින් පාවුල් ක්‍රිස්තියානීන්ට “දිගටම යහපත් දේ කරන්න” කියලා දිරිගන්වද්දී එයා කතා කළේ මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය පිළිපදින එක ගැන නෙවෙයි. ඒ වෙනුවට එයා දිරිගැන්නුවේ “ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න” කියලයි. ඒකට අනිත් අය වෙනුවෙන් කරන්න කියලා යේසුස් කියපු හැම දෙයක්ම ඇතුළත්.—ගලාති 6:2; මතෙව් 7:12; යොහන් 13:34.

 ගලාති පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.