Skip to content

නෙෆිලිම්වරු කියන්නේ කාටද?

නෙෆිලිම්වරු කියන්නේ කාටද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නෝවා මේ පොළොවේ ජීවත් වුණ කාලයේදී දුෂ්ට දේවදූතයන් පිරිසක් මේ පොළොවට ඇවිත් ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. ඔවුන්ට දාව බිහි වුණ අයට තමයි නෙෆිලිම්වරු කියන්නේ. අසාමාන්‍ය ශක්තියක් තිබුණ මේ යෝධයන් හරිම ප්‍රචණ්ඩකාරී විදිහට ක්‍රියා කළා. a

 “සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටුවෝය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 6:2) ඒ පදයේ “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” කියලා හඳුන්වලා තියෙන්නේ දෙවිට විරුද්ධව කැරලිගහලා ස්වර්ගයේ “තමන්ට නියමිත වාසස්ථානය අත්හැරලා” මිනිස් වෙස් අරගෙන පොළොවට ආපු දේවදූතයන්වයි. එයාලා “හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ” කරගත්තා.—යූද් 6; උත්පත්ති 6:2.

 ඒක අසාමාන්‍ය දෙයක්. ඒ නිසා එයාලට ඉපදුණ දරුවනුත් සාමාන්‍ය අය නෙමෙයි. (උත්පත්ති 6:4) නෙෆිලිම්වරු මිනිසුන්ට ගොඩක් හිරිහැර කළා. එයාලගේ මැරකම්වලින් සහ දුෂ්ටකම්වලින් පොළොව පිරුණා. (උත්පත්ති 6:13) “පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු” කියලා බයිබලයේ එයාලව හඳුන්වනවා. (උත්පත්ති 6:4) එයාලගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා අනිත් අයත් ගොඩක් දරුණු විදිහට ක්‍රියා කරන්න පටන්ගත්තා.—උත්පත්ති 6:5; ගණන් කතාව 13:33. b

නෙෆිලිම්වරු ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: නෙෆිලිම්වරු දැනුත් පොළොවේ ජීවත් වෙනවා.

 ඇත්ත මේකයි: යෙහෝවා දෙවි ජලගැල්මකින් ඒ පුරාණ දුෂ්ට ලෝකය විනාශ කළා. ඒ කලේ ජීවත් වුණ දුෂ්ට මිනිසුත් එක්ක නෙෆිලිම්වරුනුත් විනාශ වුණා. බේරුණේ යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගෙන හිටපු නෝවා සහ එයාගේ පවුලේ අය විතරයි.—උත්පත්ති 6:9; 7:12, 13, 23; 2 පේතෘස් 2:5.

 වැරදි මතය: නෙෆිලිම්වරුන්ගේ තාත්තලා සාමාන්‍ය මිනිසුන්.

 ඇත්ත මේකයි: නෙෆිලිම්වරුන්ගේ තාත්තලාව හැඳින්නුවේ “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” කියලා. (උත්පත්ති 6:2) ඒ විදිහට බයිබලයේ කතා කරන්නේ දේවදූතයන් ගැනයි. (යෝබ් 1:6; 2:1; 38:7) මිනිස් වෙස් ගන්න බලයක් දේවදූතයන්ට තිබුණා. (උත්පත්ති 19:1-5; යොෂුවා 5:13-15) භූතයන් ගැන කතා කරද්දී ඒ අය “නෝවාගේ කාලයේදී අකීකරුව ක්‍රියා කළ අයයි’ කියලා පේතෘස් කිව්වා. (1 පේතෘස් 3:19, 20) ඒ සිද්ධිය ගැන යූද් සඳහන් කළේ සමහර ‘දේවදූතයන් තමන්ට පවරා තිබූ සේවා ප්‍රස්තාව රැකගන්නවා වෙනුවට තමන්ට නියමිත වාසස්ථානය අත්හැරියා’ කියලා.—යූද් 6.

 වැරදි මතය: නෙෆිලිම්වරු කියලා කියන්නේ නොමඟ ගිය දේවදූතයන්ටයි.

 ඇත්ත මේකයි: නෙෆිලිම්වරු කියන්නේ දේවදූතයන් නෙමෙයි. මිනිස් වෙස් ගත් දේවදූතයන් පොළොවේ ස්ත්‍රීන් සමඟ ලිංගිකව එක් වීමෙන් බිහි වුණ අසාමාන්‍ය දරුවන්ව තමයි ඒ විදිහට හඳුන්වන්නේ. උත්පත්ති 6:4 අවට පද කියවද්දී අපිට ඒක පැහැදිලි වෙනවා. දේවදූතයන් ‘හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ කරගත්තාට’ පස්සේ තමයි යෙහෝවා දෙවි කිව්වේ අවුරුදු 120කින් ඒ දූෂිත සමාජය විනාශ කරනවා කියලා. (උත්පත්ති 6:1-3) “ඒ දවස්වල” මිනිස් වෙස් ගත්ත දේවදූතයන් “මනුෂ්‍ය දූවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූහ” කියලත් ඔවුන්ගෙන් පැවතුණ අය “පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු” වන නෙෆිලිම්වරු වුණා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 6:4.

a “නෙෆිලිම්” කියන්නේ හෙබ්‍රෙව් වචනයක්. ඒ වචනයේ තේරුම “බිමට ඇද වැටෙන සේ අන් අයට පහර දෙන්නෝ” කියන එකයි. එක පොතක සඳහන් වෙන විදිහට “නෙෆිලිම්” කියන වචනය පාවිච්චි කළේ “මැරකම් කරලා දේශයේ මිනිසුන්ව කොල්ල කාපු අයව” විස්තර කරන්නයි.—Wilson’s Old Testament Word Studies.

b ගණන් කතාව 13:33 කියන විදිහට පොරොන්දු දේශයේ තොරතුරු හොයා බලන්න ගිය ඔත්තුකරුවන් ඒ දේශයේ වැසියන්ගේ උස මහත දැක්කාම එයාලා නෙෆිලිම්වරුන්ගෙන් පැවතෙන අය කියලා හිතුවා. හැබැයි ඒ වෙද්දී නෙෆිලිම්වරුන් මැරිලා ශතවර්ෂ ගණනාවක් ගත වෙලා තිබුණා.—උත්පත්ති 7:21-23.