Skip to content

යේසුස්ගේ දේහය ඔතන්න පාවිච්චි කළේ ටියුරින් නගරයේ තියෙන සළුවද?

යේසුස්ගේ දේහය ඔතන්න පාවිච්චි කළේ ටියුරින් නගරයේ තියෙන සළුවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඒ ගැන කිසිම දෙයක් බයිබලයේ සඳහන් වෙලා නැහැ. ටියුරින් නගරයේ දේවස්ථානයක තියෙන, යේසුස් ක්‍රිස්තුස්ගේ දේහය ඔතලා තැන්පත් කෙරුවා යැයි කියන සළුව ලිනන් රෙද්දක්. යේසුස්ගේ දේහය ඒකෙන් ඔතලා තැන්පත් කළා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඒ නිසා ටියුරින් නගරයේ තියෙන සළුව තමයි ක්‍රිස්තියානි ලෝකයේ තියෙන අතිපූජනීය වස්තුව කියලා සමහරු හිතනවා. ඒක තැන්පත් කරලා තියෙන්නේ නවීන තාක්ෂණය යොදාගෙන අධිආරක්ෂිත විදිහට හදලා තියෙන පෙට්ටියක.

 ටියුරින් නගරයේ තියෙන සළුව ඇත්තටම යේසුස්ගේ දේහය ඔතන්න පාවිච්චි කරපු එකක් කියලා බයිබල් වාර්තාවලින් ඔප්පු කරන්න පුළුවන්ද? බැහැ.

 එහෙම කියන්න හේතු වෙන කාරණා 3ක් අපි සලකා බලමු.

  1.   ඒ සළුව තනි රෙද්දක්. ඒකේ දිග අඩි 14යි අඟල් 6යි. පළල අඩි 3යි අඟල් 8යි. ඒකේ දිග අතට අඟල් 3ක් පළල පටියක් මූට්ටු කරලා තියෙනවා.

     බයිබලයේ සඳහන් දේ: යේසුස්ගේ දේහය ඔතන්න එක රෙද්දක් නෙමෙයි රෙදි පටි ගොඩක් පාවිච්චි කළා. ඔහුගේ හිස වෙනම රෙදිකඩක ඔතලා තිබුණා. යේසුස් නැවත නැගිට්ටාට පස්සේ ඔහුගේ ගෝලයන්ගෙන් කෙනෙක් සොහොන් ගෙය ළඟට ගියාම ‘ඒ රෙදි පටි එතන තියෙනවා දැක්කා.’ “යේසුස්ගේ හිසට දමා තිබූ රෙදිකඩ, රෙදි පටි සමඟ නොව වෙනම තැනක අකුළා තිබෙන ආකාරය” එයා දැක්කා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—යොහන් 20:6, 7.

  2.   ඒ සළුවේ හෝදපු නැති දේහයකින් ගෑවුණු ලේ පැල්ලම් වගේ පැල්ලම් තියෙනවා.

     බයිබලයේ සඳහන් දේ: යේසුස් මිය ගිය අවස්ථාවේදී “යුදෙව්වරුන්ගේ සිරිතට අනුව තැන්පත් කිරීම සඳහා” ගෝලයන් ඔහුගේ දේහය සූදානම් කළා. (යොහන් 19:39-42) ඒ සිරිතට අනුව දේහයක් තැන්පත් කරන්න කලින් ඒක හෝදලා ඒකට තෙල් සහ සුවඳ ද්‍රව්‍ය ආලේප කරනවා. (මතෙව් 26:12; ක්‍රියා 9:37) ඒ නිසා යේසුස්ගේ දේහය රෙදිවලින් ඔතන්න කලින ගෝලයන් අනිවාර්යයෙන්ම ඒක හෝදලා පිරිසිදු කරන්න ඇති.

  3.   ඒ සළුවේ මිනිසෙකුගේ හැඩයට ඡායාවක් පේන්න තියෙනවා. එක විශ්වකෝෂයක සඳහන් වෙන විදිහට ඒ ඡායාවෙන් පැහැදිලි වෙන්නේ “දේහය ඒ සළුවේ එක කෙළවරකින් දික් අතට තියලා සළුවේ ඉතිරි කොටස නමලා ශරීරය වහලා තියෙනවා” කියලයි.—Encyclopædia Britannica.

     බයිබලයේ සඳහන් දේ: යේසුස්ගේ ගෝලයන් යේසුස්ගේ මරණය ගැන කතාබහ කළා. හිස් වෙලා තිබුණ සොහොන් ගෙය ගැනත් එයාලා කතා කළා. “මහත් තේජසකින් බැබළෙන දේවදූතයන් ඇවිත් යේසුස් ජීවත් වෙනවා” කියලා තමන්ට පැවසුවා කියලා කාන්තාවන් කියපු දේ ගැනත් එයාලා කතා කරලා තියෙනවා. (ලූක් 24:15-24) ඒ සළුව යේසුස්ගේ සොහොන් ගෙයි තිබුණා නම් ගෝලයන් ඒ ගැනත් ඒකේ තිබුණ ඡායාව ගැනත් අනිවාර්යයෙන්ම එකිනෙකා අතරේ කතා කරගන්නවා. ඒත් බයිබලයේ එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ.

ඒ සළුව පූජනීය වස්තුවක් විදිහට සලකන එක හරිද?

 නැහැ. උදාහරණෙකට අපි හිතමු යේසුස්ගේ දේහය ඇත්තටම ඔතලා තිබුණේ ඒ සළුවෙන් කියලා. ඒත් ඒක පූජනීය වස්තුවක් විදිහට සලකන එක වැරදියි. ඒකට හේතුව පැහැදිලි කරන බයිබල් ප්‍රතිපත්ති සමහරක් සලකා බලමු.

  1.   එහෙම කරන එක අනවශ්‍ය දෙයක්. “දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්. ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි” කියලා යේසුස්ම කියලා තියෙනවා. (යොහන් 4:24) එහෙම බලද්දී දෙවියන්ට නමස්කාර කරනවා වෙනුවට පූජනීය වස්තුවලට හරි රූපවලට හරි නමස්කාර කරන එක සුදුසු නැහැ.

  2.   දෙවියන් තහනම් කරලා තියෙන දෙයක්. දසපනතේ රූප නමස්කාරය තහනම් කරලා තියෙනවා. (ද්විතීය කතාව 5:6-10) ඒ වගේම ක්‍රිස්තියානීන්ට බයිබලයේ මෙහෙම අණ කරලා තියෙනවා. “ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න.” (1 යොහන් 5:21) ඒ සළුව තමන් සලකන්නේ රූපයක් විදිහට නෙමෙයි, තමන් විශ්වාස කරන දේට අයිති සලකුණක් විදිහට කියලා සමහර අය තර්ක කරනවා. ඒ කොහොම වුණත් ඒ වගේ සංකේතයකට ගෞරවයෙන් සලකන එක රූපයකට නමස්කාර කරනවා හා සමානයි. a ඒ නිසා දෙවියන්ව සතුටු කරන්න කැමති කෙනෙක් ඒ සළුව ඇතුළු ඕනෑම දෙයක් භක්තිය ලැබිය යුතු දෙයක් ලෙස සලකන්නේ නැහැ.

a රූපයක් කියන්නේ යම් දෙයක පිළිරුවක් හෝ සංකේතයක්. මිනිස්සු ඒකට තමන්ගේ භක්තිය පුදනවා.