Skip to content

ඉහළ වම: ජපානයේ චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැලට සහභාගි වෙන ශිෂ්‍යයන්. පහළ වම: පැනමාවල චාරිකා සමුළුවක්. දකුණ: ඇමරිකාවේ චාරිකා සමුළුවකදී සහෝදරියන් දෙන්නෙක් සතුටින් බදාගන්නවා

2023 පෙබරවාරි 28
සිව් දෙසින්

පාසැල් සහ චාරිකා සමුළු ආයෙත් එකට එකතු වෙලා පවත්වන්න පටන්ගනියි!

පාසැල් සහ චාරිකා සමුළු ආයෙත් එකට එකතු වෙලා පවත්වන්න පටන්ගනියි!

අවුරුදු තුනක විරාමයකට පස්සේ 2023 ජනවාරිවල කලින් වගේ ආයෙත් එකට එකතු වෙලා චාරිකා සමුළු පවත්වන්න පටන්ගත්තා. ඒ වගේම හුඟක් රටවල්වල සංවිධානයේ පාසැලුත් පටන්ගත්තා. ඒ දේවල්වලින් පේනවා මේ විශේෂ අවස්ථාවලට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියලා.

මෙක්සිකෝවේ ටබැස්කෝ ප්‍රාන්තයේ වියාහර්මෝසාවල චාරිකා සමුළුවක් තිබුණා. ඒ සමුළුවට කලින් තිබ්බ පිරිසිදු කිරීමේ වැඩවලට ප්‍රචාරකයන් 200ක් විතර හවුල් වුණා. සමහරුන්ට ගෙදර ඉඳන් එතනට එන්න පැය හයක් විතර ගියා. බලන්න ඒ වගේ එක සහෝදරියක් කියන දේ. “සහෝදර සහෝදරියන් මේ වගේ එකට එකතු වෙලා ඉන්නවා දැක්කේ සෑහෙන කාලෙකට පස්සේ. ඉතිං කොහොමද මේ වගේ අවස්ථාවක් මඟ හරින්නේ?”

ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ ක්‍රවුන්ස්විල්වල තිබ්බ චාරිකා සමුළුවකට ආපු සහෝදරියක් මෙහෙම කියනවා. “මේ දැනෙන සතුටට මගේ හිත පිරිලා ගිහින්. සමුළුවට ආපු වෙලාවේ ඉඳන් මගේ ඇස්වලට කඳුළු එන එක නවත්තගන්න බෑ. කොච්චරද කියනවා නම් සමුළුව පටන්ගන්නත් කලින්ම මගේ ළඟ තිබුණ ටිෂූ ඔක්කොම ටික ඉවරයි. මොන දේ දෙනවා කිව්වත් මේ වගේ අවස්ථාවක් නම් මං කීයටවත් මඟ හරින්නේ නෑ.”

පෝටෝ රිකෝ කාගුවාස්වල තියෙන සමුළුවකට එන සහෝදර සහෝදරියන්

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලයි, චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැලයි ආයෙත් එකට එකතු වෙලා පවත්වනවා කියලා දැනගත්තාම හුඟක් ශිෂ්‍යයන්ටත් දැනුණේ කියාගන්න බැරි සතුටක්. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් කෝස්ට්වල අධ්‍යාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙක් විදිහට සේවේ කරන සහෝදර ජියෝවානි කබේසාස් මෙහෙම කියනවා. “ආයේ කලින් වගේ පාසැල් තියෙනවා කියලා දැනගත්තාම පුදුම සතුටක් දැනුණේ. යෙහෝවාගේ කැමැත්ත කරන්න ජීවිතේම කැප කරපු උපදේශකවරු, ශිෂ්‍යයන් වගේම එයාලාගේ සහයට එන සහෝදර සහෝදරියන්වත් ආයේ හම්බ වෙන්න ලැබුණ එක ඇත්තටම ලොකු සතුටක්.”

2023 ජනවාරිවල චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැලට සහෝදරි සකෝටෝ නකාටාත් සහභාගි වුණා. බලන්න එයා කියන දේ. “කොරෝනා කාලේ රැස්වීම්, පුරෝගාමි පාසැල තිබ්බේ සූම් එකෙන්. ඒකෙනුත් අපි ගොඩක් ප්‍රයෝජන ගත්තා. හැබැයි සූම් එකෙන් තියද්දී සහෝදරයන් එක්ක නිදහසේ කතා කරන්න අමාරුයි. ඒ වගේම අනිත් අයගේ හිනාව, එයාලා ගීතිකා කියන විදිහ ඇහෙන්නෙත් නෑ. එහෙම බලද්දී ආයේ මේ විදිහට එකට එකතු වෙන්න ලැබුණ එක යෙහෝවාගෙන් ලැබුණ මිල කරන්න බැරි තෑග්ගක්. දැන් අපිට පුළුවන් එකට එකතු වෙලා කතා කරන්න, හිනා වෙන්න, සතුටින් ගීතිකා කියන්න. සමහර වෙලාවට අපි එකට එකතු වෙලා අඬන වෙලාවලුත් තියෙනවා. ඇත්තටම මේ අවස්ථාව ආයෙත් දුන්නාට මං යෙහෝවා දෙවියන්ටයි, පාලක මණ්ඩලයටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.”

කෙන්යාවේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලක ශිෂ්‍යයන්

තමන්ගේ සෙනඟ එකට එකතු වෙලා නමස්කාර කරද්දී, ඉගෙනගද්දී යෙහෝවාගේ හිතත් සතුටින් පිරිලා යනවා කියලා කිසිම සැකයක් නැහැ. ඒ ගැන හිතද්දී අපිත් පෙලඹෙනවා දාවිත් වගේ මෙහෙම කියන්න. “රැස්ව සිටින සමූහය මැදදී මම ඔබව පසසන්නෙමි. බොහෝ සෙනඟ අතරේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.”—ගීතාවලිය 35:18.