Skip to content

වම: තුන්දින සමුළුව පවත්වපු ශාලාවට ඇතුල් වෙන තැන. දකුණ: සහභාගි වුණ අය තුන්දින සමුළු වැඩසටහනට හොඳ අවධානයක් දෙන විදිහ

2023 නොවැම්බර් 1
ඉන්දියාව

බෝම්බ පිපිරීමෙන් පස්සේ ඉන්දියාවේ සාක්ෂිකරුවන් එකිනෙකාට අතහිත දෙයි

බෝම්බ පිපිරීමෙන් පස්සේ ඉන්දියාවේ සාක්ෂිකරුවන් එකිනෙකාට අතහිත දෙයි

පහුගියදා jw.org එකේ පළ වුණ එසැණින් පුවතක් හරහා වාර්තා කෙරුවා 2023 ඔක්තෝබර් 29වෙනි ඉරිදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පවත්වපු තුන්දින සමුළුවකදී බෝම්බ පිපිරීම් කීපයක් වුණා කියලා. ඒ අවස්ථාවේ සහෝදරියන් දෙන්නෙකුත්, පස්සේ වයස 12ක දැරියකුත් මරණයට පත් වුණා. ඒ මරණ ගැන අපිට හරිම කණගාටුයි. ඊට අමතරව සහෝදර සහෝදරියන් 55දෙනෙක් තුවාල ලැබුවා. එයාලාගෙන් සමහර අය පිළිස්සීම් තුවාල නිසා ඉන්නේ තද වේදනාවෙන්.

දැනට සහෝදරියන් තුන්දෙනෙක් සහ සහෝදරයන් දෙන්නෙක් අසාධ්‍යය තත්වයෙන් රෝහල්ගතව ඉන්නවා. බලධාරීන් තහවුරු කරපු විදිහට පහුගිය ඉරිදා උදේ 9.40 ට විතර ආරම්භක යාච්ඤාව අතරතුර අඩුම තරමින් බෝම්බ තුනක් පුපුරුවා හැරලා තියෙනවා. මෙම ම්ලේච්ඡ ක්‍රියාවේ සැකකරුවා මේ වෙද්දී පොලිස් අත්අඩංගුවේ පසු වෙන අතර සිද්ධිය ගැන පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

ඒ ස්ථානයට ඉක්මනින්ම ඇවිත් ආධාර කරපු හදිසි අනතුරු ඒකකයේ නිලධාරීන්ට සහ තුවාලකරුවන්ට අවශ්‍ය වෙද හෙදකම් කරන රෝහල් කාර්ය මණ්ඩලයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

අනිත් සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණ ආදරය සහ උදව් උපකාර නිසා හුඟදෙනෙක් දිරිමත් වුණා. බෝම්බය පුපුරපු වෙලාවේ ශාලාවේ හිටපු සහෝදරියක් මෙහෙම කියනවා. “මං ඒ වෙලාවෙම යෙහෝවාට යාච්ඤා කළා. පරිවාරකයන් සහ අනිත් සහෝදරයන් ඉක්මනට ඇවිත් අපිව ආරක්ෂිත තැන්වලට අරන් ගිහින් හොඳින් බලාගත්තා. ඒකෙන් අපි යෙහෝවාගේ ආදරය සහ රැකවරණය අද්දැක්කා.”

ඉන්දියාවේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන්, චාරිකා සේවකයන්, ඒ ප්‍රදේශයේ ඉන්න වැඩිමහල්ලන් පීඩාවට පත් වුණ අයට ප්‍රායෝගික උපකාරත් යෙහෝවා දෙවියන් එක්ක දිගටම ඉන්න ඕනෙ කරන හයියත් දිගින් දිගටම ලබා දෙමින් ඉන්නවා. පීඩාවට පත් වුණ සහෝදර සහෝදරියන්ව සනසන්න ගිය ශාඛා කාර්යාලයේ වැඩිමහල්ලෙක් කියන දේ බලන්න: “පීඩාවට පත් වුණ අය ගොඩක් කම්පනයෙන්, වේදනාවෙන් හිටියත් එයාලා මානසිකව වැටෙනවා වෙනුවට දේවල් දිහා සුභාවාදීව බලන විදිහ දැකලා මාත් දිරිමත් වුණා. මම හුඟදෙනෙක්ට කතා කළා. එයාලා පුදුම විදිහට යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්නේ. ඒකෙන් මගේ විශ්වාසයත් ශක්තිමත් වුණා.”

ඉන්දියාවේ මේ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් වුණ පවුල් ඇතුළු විපතට පත් වුණ හැමෝම වෙනුවෙන් අපි එක පවුලක් විදිහට යාච්ඤා කරමු. ප්‍රචණ්ඩකම්, දුක් වේදනා සහ මරණය නැති අනාගතයක් ගැන බයිබලේ තියෙන පොරොන්දුව හිතේ සාමය ඇතුව ඉන්න අපිට ලොකු උදව්වක්. අපි දිගටම යෙහෝවා ගැන අපේ සම්පූර්ණ විශ්වාසය තියාගමු.—ගීතාවලිය 56:3.